ර්ය අෂ්ටාංගික මාර්ගය ආරම්භ කරන්නේ සම්මා දිට්ඨියෙන්. ඊළඟට සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි.

මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ හික්මෙන ක්‍රම තුනක් තියෙනවා. ඒ තමයි සීල, සමාධි, ප්‍රඥා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සැලැස්ම දිහා බලපුවාම අපට ඉස්සෙල්ලාම පේන්නේ ප්‍රඥාව ඉස්සෙල්ලා තියෙනවා වගේ. ඇයි, සම්මා දිට්ඨියෙන්නේ පටන්ගන්නේ.

සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන දෙක තමයි ප්‍රඥා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තුන තමයි සීල. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි තුන තමයි සමාධි. එතකොට බැලූ බැල්මට පේන්නේ සීල, සමාධි, ප්‍රඥා වගේ නෙවෙයි, ප්‍රඥා, සීල, සමාධි වගේ. සමහරු මේකට රැවටෙනවා. රැවටිලා ‘සීල, සමාධි, ප්‍රඥා නෙවෙයි ඔතැන තියෙන්නේ. ඔතැන තියෙන්නේ ප්‍රඥා, සීල, සමාධි’ කියනවා. නමුත් විය යුත්තේ ප්‍රඥා, සීල, සමාධි නෙවෙයි, සීල, සමාධි, ප්‍රඥා.

සම්මා දිට්ඨිය ඉස්සරහට අරන් තියෙන්නේ මේකයි. ශ‍්‍රාවකයාට අවබෝධයෙන් යුක්ත සීලයක් පිණිසත්, අවබෝධයෙන් යුක්ත සමාධියක් පිණිසත්, අවබෝධයෙන් යුක්ත ප්‍රඥාවක් පිණිසත් මූලික පදනම සකස් කරන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියෙන් යුක්ත ශ‍්‍රාවකයා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට වුවමනා කරන සීලය සම්පූර්ණ කරන්නේ. සම්මා දිට්ඨියෙන් යුක්ත ශ‍්‍රාවකයා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට වුවමනා කරන්නා වූ සමාධිය සම්පූර්ණ කරන්නේ. සම්මා දිට්ඨියෙන් යුක්ත ශ‍්‍රාවකයා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්ත වූ ප්‍රඥාව සම්පූර්ණ කරන්නේ.

එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වුණොත්, සීල, සමාධි, ප්‍රඥා සම්පූර්ණ වුණොත්… ඊළඟ එක ලැබෙනවා. ඒ තමයි සම්මා ඤාණ, සම්මා විමුක්ති. ඒ දෙක ලැබෙන්නේ රහතන් වහන්සේට. ඒකට සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඤාණදර්ශන කියලා කියනවා. සීල, සමාධි, ප්‍රඥා ගාවට විමුක්ති, විමුක්ති ඤාණදර්ශන. රහතන් වහන්සේ ඒ කරුණු දහයෙන් යුක්තයි. විමුක්ති, විමුක්ති ඤාණදර්ශන කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පුර්ණ වීම තුළ වැඩුණ එකක් මිසක් වඩන එකක් නෙවෙයි.

අපි මේක ඒ විදිහට පැහැදිලි කර ගන්න ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ සම්මා දිට්ඨිය හරියට තිබුණේ නැත්නම් සීලය කියලා එයා එක එක දේවල් කරනවා. පංච සීලයත් වැරදි විදිහට විස්තර කරයි. ඊළඟට සිල් නොවන දේවල් සීලය කියලා පටලවා ගන්නවා. සීලයට අයිති දේ හරියට හඳුනගන්නේ නෑ. ඊළඟට සම්මා සමාධියට එන්න බැරිව යනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග අංග එකක්වත් හරියට ඇති කරගන්න හම්බවෙන්නේ නෑ. ඒකයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ, සම්මා දිට්ඨිය ඉදිරියටම අරගෙන තියෙන්නේ.

එතකොට පින්වත්නි, සම්මා දිට්ඨිය හරියට තිබුණොත් තමයි සම්මා සංකල්පය ඇති වෙන්නේ. සම්මා සංකල්පය ඉදිරියේදී අපට හිමීට හිමීට තෝරගන්න පුළුවන්. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විස්තර කරන ඒ දහම් කරුණු ඉගෙන ගෙන ඒ දහම් කරුණු කෙරෙහි හිතේ පැහැදීමක් ඇතිකර ගන්න ඕන. එතකොට තමයි අවබෝධයෙන්ම තෙරුවන් සරණ යනවා කියන්නේ. අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සරණ යනවා කියන්නේ. අපි හරියටම බුදුරජාණන් වහන්සේගේ ධර්මය සරණ ගියොත් අපි මේ ධර්මයෙයි, ලෝකයේ අනෙක් දේවලූයි අතර වෙනස හොඳට තේරුම් ගන්නවා.

ආලෝකය ගැන දන්නා කෙනාට අඳුරෙයි එළියෙයි අතර වෙනස දකින්න පුළුවන්. නමුත් ආලෝකය ගැන දන්නේ නැති කෙනාට අඳුරෙයි එළියෙයි වෙනස හොයන්න බැහැ. ඒ වගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන දන්නේ නැති කෙනාත් අනෙක් ආගම් දිහා බලලා ‘ඒවායෙත් හොඳ දේවල් තියෙනවානේ’ කිය කිය ඉන්නවා මිසක් වෙනස දකින්නේ නෑ. දන්නේ නැතුව ‘මේ විද්‍යාවෙත් තියෙන්නේ බුදු දහමනේ’ කියනවා. එහෙම කියන මෝඩ අය හරියට ඉන්නවනේ. ‘විද්‍යාවෙන් ඔප්පු වෙන අලුත් පරීක්ෂණනේ, බුදු දහමනේ ඔප්පු වෙන්නේ’ කියා කියන මෝඩ අය හරියට ඉන්නවා. ඒකෙන් පේන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකයේ වෙනම දකින්න බැරිකමයි. නමුත් හරියටම බුදුරජාණන් වහන්සේගේ ධර්මය හදාරලා නුවණින් විමසා බැලූවොත් අපිට පේනවා, මේ ලෝකයේ වෙන කිසිම ධර්මයකට මේ ධර්මය සමාන කරන්න බැහැ. ඇයි රතන සූත්‍රයේ තියෙන්නේ,

“ඛයං විරාගං අමතං පණීතං
යදජ්ඣගා සක්‍යමුනී සමාහිතෝ
න තේන ධම්මේන සමත්ථි කිංචී”

(ඛයං) සියලූ තණ්හා ආදී කෙලෙස් ක්ෂය කරන්නා වූ, (විරාගං) නොඇල්ම ඇති කරන්නා වූ, (අමතං) අමරණීය වූ අමෘතය ‘නිවන’, (පණීතං) ප්‍රණීත වූ නිවන ලබා දෙන්නා වූ, (යදජ්ඣගා සක්‍යමුනී සමාහිතෝ) සමාහිත සිත් ඇති ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ යම් ධර්මයක් වදාළ සේක්ද, (න තේන ධම්මේන සමත්ථි කිංචි) ඒ ධර්මයට සමාන කිසිවක් නැත.

එතකොට ‘අන්න ඒ ධර්මයට සමාන කිසිවක් නෑ’ කියලා පැහැදීමක් ඇතිවුණොත්, ඒ කෙනාට පුළුවනි මේ ධර්මය කෙරෙහි නොසෙල්වෙන චිත්තප්‍රසාදයක් ඇති කරගන්න. එහෙම නැත්නම් වෙන්නේ වෙන වෙන දේවල් අහනකොට “ආ… මේකමනේ අරකෙත් තියෙන්නේ… අරකනේ මේකෙත් තියෙන්නේ…” කියලා රැවටෙනවා. එයාට වෙන් වශයෙන් දකින්න බැරිව යනවා. අවබෝධයෙන්ම මේක තේරුම් ගත්තොත් එයාට වෙන් වෙන් වශයෙන් තේරුම් ගන්න පුළුවන්. එයාට ‘මේ ධර්මයේ තියෙන දේවල් ලෝකයේ වෙන කොහේවත් නෑ’ කියලා තේරෙනවා. අන්න එතකොට තමයි එයාට නොසෙල්වෙන චිත්තප්‍රසාදයක් ඇතිවන්නේ. එහෙම නැත්නම් දැන් ඔන්න අපි බෞද්ධ කියලා කියාගෙන ඉන්නවා. තව කෙනෙක් මේකට විරුද්ධව මොකක් හරි කියනවා නම් එයා ඒකට සක්ක ගහනවා. ‘ඒකත් හරි තමයි’ කියනවා. බනින කොට ‘ආ… හරි තමයි ඒකත්’ කියනවා. හේතුව, එයාට නිවැරදිව ස්ථාවරයක් නැහැ. ඊට පස්සේ ඒ කවුරුහරි ධර්මයට විරුද්ධව මොනවා හරි කිව්වොත් එයා එක ගන්නවා. අරගෙන ඒක කියාගෙන යනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙරෙහි අවබෝධයෙන් පැහැදුණේ නැත්නම් මේ වගේ දේවල් සිද්ධ වෙනවා.

ඒ නිසා පින්වත්නි, මනුෂ්‍යයෙකුට අවබෝධයෙන් පැහැදෙනවා කියන එක කරගන්න ලැබුණොත් එයා මේ ලෝකයේ ඉතාම පින්වන්ත කෙනෙක්, වාසනාවන්ත කෙනෙක්. අවබෝධයෙන් පැහැදීම ඇති කර ගත්තොත් ඒ පැහැදීම නොසෙල්වෙන එකක්. ඒකයි ‘අවෙච්චප්පසාද’ කියන්නේ. අපි උපමාවකිනුත් කිව්වනේ, ඒ පැහැදීම තියෙන්න ඕන ඉන්ද්‍රඛීලයක් වගේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙරෙහි ඇතිවන පැහැදීමත් තියෙන්නෙ ඕන ඉන්ද්‍රඛීලයක් වගෙයි. ඒ විදිහට ඉන්ද්‍රඛීලයක් වගේ තියෙන්න පුළුවන් වෙන්නේ ධර්මය දැනගත්තොත් විතරයි. ධර්මය දන්නෙ නැත්නම් ඉන්ද්‍රඛීලයක් වගේ පැහැදීමක් ඇති කරගන්න පුළුවන්කමක් නෑ.

පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා “ස්වාක්ඛාත, සන්දිට්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බ විඤ්ඤූ” කියන ලක්ෂණයෙන් යුක්තයි. “ධම්මං සරණං ගච්ඡාමි” කියලා අපි සරණ යන්නේ ඒ ධර්මයයි කියන තැනට අපි එන්න ඕන.

එතකොට ඔය විදිහට ධර්මය තේරුම් අරගෙන සිත පහදින්න නම් අපට යම්කිසි නුවණක් ඕන නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මාගේ මේ ධර්මය “ප්‍රඥාවන්තයින් උදෙසා” කියලයි. එහෙනම් අපි තේරුම් ගන්න ඕන, බුදුරජාණන් වහන්සේගේ ධර්මය හඳුනාගන්නේ ප්‍රඥාවන්ත කෙනෙක්. අපට ප්‍රඥාවන්ත කෙනා මොන විදිහද කියලා එක පාරට හොයන්න බෑ.

අපි කලින් කතා කළ කතාවේ බත් කන්නම මහණ වුණ ආච්චි අරහත් භික්ෂුණීයක් වුණේ ඇය තුළ ප්‍රඥාව තිබුණ නිසයි. ඒ කාලේ ‘සච්චක’ කියලා හරි පණ්ඩිතයෙක් හිටියා. එයා ඒ කාලේ තිබුණ උපාධි ටික ඔක්කොම අරගෙන හිටියේ. එයා කොච්චර පණ්ඩිතද කියනවා නම්, පණ්ඩිත වැඩිකමට බඩට ලොකු පටියක් බැඳගෙන හිටියා. මොකද, පණ්ඩිතකම බඩටත් බැහැලා. නමුත් ධර්මය ඇල්ලූවේ නෑ. බුදුරජාණන් වහන්සේ එයාව දමනය කළා. දමනය කරපු නිසා හොඳයි. මට මතක හැටියට අවසානයේදී එයා බුදුරජාණන් වහන්සේව සරණ ගියා. නමුත් වේගයෙන් ධර්මය අල්ලන්නේ පැත්තක ඉන්න අහිංසක අය.

බුදුරජාණන් වහන්සේගේ කාලේ දවසක් ඒ වගේම සීයා කෙනෙක් බත් කන්න තැනක් හොය හොයා යනවා. යන කොට සෙනඟ වටවෙලා ඉන්නවා. මෙයා ‘මේ කෑම බෙදන තැනක් වෙන්න ඇති’ කියලා එතැනට ගියා. ගියහම බුදුරජාණන් වහන්සේ පිරිසකට ධර්මය දේශනා කරමින් ඉන්නවා. මෙයා බැලුවා ‘මේ කෑම දෙන තැනක් නෙවෙයිනේ. ආපු එකේ මොනවද කියන්නේ කියලා අහගන්න ඕන’ කියලා අයිනකින් වාඩිවුණා. බුදුරජාණන් වහන්සේ දැක්කා, මෙයා තමයි මෙතැන ඉන්න අයගෙන් වේගයෙන්ම ධර්මය අල්ලන කෙනා කියලා. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළා. ධර්මය අවබෝධ කළා. සෝතාපන්න වුණා.

එතකොට අපට පේනවා, ප්‍රඥාවන්ත මනුෂ්‍යයා උපතින් ගේන එකක් තියෙනවා. ඒ, නුවණින් කල්පනා කරන්න පුළුවන්කමයි. ඒක බලෙන් දෙන්න බෑ කියලා අපට තේරුම් ගිහිල්ල තියෙනවා. අපට ඒක කොච්චර දුරට තියෙනවාද කියලා අපි දන්නේ නෑ. ඒක තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයම විමස විමසා බලන්න ඕන.

හැබැයි, මෙහෙම එකක් හිතන්න පුළුවනි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ වෙන කෙනාට ඒ ධර්මය මතක හිටිනවා. මතක හිටිනවා කියන එකේ තේරුම කටපාඩම් හිටිනවා කියන එක නෙවෙයි. ‘ඒ ධර්මයෙන් මෙන්න මේ විදිහටයි මං ජීවිතේ ගැන බලන්න ඕන’ කියන පණිවිඩය යනවා. ඊට පස්සේ එයා ඒ විදිහට නුවණින් විමසන්න පටන් ගන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවන්ත කෙනා ගැන “මුහුත්තම්පි චේ විඤ්ඤූ” කියලා පෙන්වා තියෙන්නේ. අන්න ‘විඤ්ඤූ’ කියන වචනය ආවා.

මුහුත්තම්පි චේ විඤ්ඤූ – පණ්ඩිතං පයිරුපාසතී
ඛිප්පං ධම්මං විජානාති – ජිව්හා සූප රසං යථා

“විඤ්ඤූ” කිව්වේ බුද්ධිමත් කෙනා. මොහොතක් හරි නුවණ තියෙන කෙනෙක්ව ඇසුරු කරනවා නම් වහා ධර්මය අවබෝධ කරගන්නවා. හරියට ව්‍යංජන රසය දන්නා දිව වගේ.

ඊළඟට තියෙනවා (යාව ජීවංපි චේ බාලෝ – පණ්ඩිතං පයිරුපාසතී) අඥාන පුද්ගලයා මුළු ජීවිත කාලයම නුවණ තියෙන කෙනෙක්ව ඇසුරු කළත් (න සෝ ධම්මං විජානාති) එයා ධර්මය දකින්නේ නෑ. (දබ්බී සූප රසං යථා) හොද්දේ දාපු හැන්දක් වගේ.

එතකොට අපට පේනවා මේ ධර්මය අවබෝධ කරන්න වාසනාව තියෙන්න ඕන. හැබැයි, ඒ වාසනාව පිටට පේන්නෙ නෑ. අපි තුළත් ඒක තියෙනවාද කියලා අපි දන්නේ නෑ. අපි තුළ ඒ වාසනාව තියෙනවා කියලා දැනගන්නේ අවබෝධයෙන්ම ශ‍්‍රද්ධාවේ පිහිටපු දවසට. අවබෝධයෙන්ම ශ‍්‍රද්ධාව පිහිටපු දවසට අපට මේ ධර්මය තේරුම් ගන්න පුළුවනි. මොකද, හිත පහදින්න පටන් ගන්නේ වාසනාවට. ධර්මය නුවණින් මෙනෙහි කරන කොට, මෙනෙහි කරන කොට හිත පහදින්න පටන් ගන්නවා. හිත පහදින්න පටන් ගන්න කොට ශ‍්‍රද්ධාව පිහිටනවා. එයාට ඇද පේන්නෙ නෑ. සමහරු ධර්මය අහනවා. අහගෙන ඉඳලා ඉස්සරහට මොකක් හරි ඇදයක් ගන්නවා. අරගෙන ඇදේ තමයි උලූප්ප උලූප්ප කතා කරන්නේ. එයාට ධර්මය අල්ලන්න බැහැ.

ධර්මයේ ඇද හොයන්න බණ අහනවා නම් එයා කළුවර පැත්තේ තියෙන හඳක් වගේ කියනවා. කළුවර පැත්තේ තියෙන හඳ කළුවර වෙනවා මිසක් එළිය වෙන්නේ නෑ. ඒ වගේම ඇද හොයන්න බණ අහනවා නම් දිය සිඳීගෙන යන තැනක ඉන්න මාලූවෙක් වගේ කියනවා. ඒ මාලූවා මැරිලා යනවා මිසක් වතුර හම්බ වෙන්නේ නෑනේ. ඒ වගේ මේ ධර්මයෙන් ඈත් වෙලා යනවා. ඒ නිසා ධර්මය අහන කොට අහන්න ඕන අවබෝධ කරනවා කියන අදහසින්. අවබෝධ කරනවා කියන අදහසින් අහන එකට “අට්ඨීකත්වා මනසිකත්වා ඕහිතසෝතෝ ධම්මං සුණාති” කියලා කියනවා. ‘මම මේක අවබෝධ කරගන්නවා’ කියන අදහසින්, කණ් යොමු කරගෙන බණ අහනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ ධර්මය අවබෝධ වුණේ ඒ අයට තමයි. ‘මං මේක අවබෝධ කරනවා’ කියන අදහසින් කන් යොමු කරගෙන බණ අහන කෙනා තමයි මේ ධර්මය අවබෝධ කරගන්නේ. මේ කාලේ වුණත් අවබෝධ වෙන්නේ එහෙම අහන අයට තමයි.

ඒක බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරද්දී මිනිස්සු අහගෙන ඉඳලා මාර්ගඵල ලැබුවා කියලා ඔබ අහලා තියෙනවනේ. ඒක වෙන හැටිත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ තමයි (අට්ඨීකත්වා මනසිකත්වා ඕහිතසෝතෝ ධම්මං සුණාති) මනාකොට, අවධානය සීයට සීයක් යොමුකොට, කන් යොමු කරගෙන බණ අහනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සවන් දෙනකොට ඒ බුදුරජාණන් වහන්සේගේ හඬ.. හැකියාව… උන්වහන්සේගේ වචන… මේ ඔක්කෝම බලපානවා. ඊට පස්සේ ඒ අහගෙන ඉන්න කොට එයාගේ පංච නීවරණ සංසිඳෙනවා. සතර සතිපට්ඨානයේ සිත පිහිටනවා. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය දේශනා කරන කොට අවබෝධ වෙනවා. අන්න ඒකයි අහගෙන ඉන්දැද්දී ධර්මය අවබෝධ වෙනවා කියන්නේ. හැබැයි, අපි මේ ජීවිතයේදී එහෙම එකක් පුරුදු කළොත්, අපට ඒක නොවැරදීම මේ ජීවිතයට හෝ ඊළඟ ජීවිතයට උපකාර වෙනවා. එහෙම නැත්නම් අපට ඒ අවස්ථාව අහිමිවෙන්න ඉඩ තියෙනවා.

ඒ නිසා පින්වත්නි, අපි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගුණ හොඳින් තේරුම් ගන්න ඕන. අපි පසුගිය ලිපි වලින් ඒ බුදු ගුණ නවය ඉගෙනගත්තා. ශ‍්‍රද්ධාව ඇති කරගන්න ආකාරය ගැන ඉගෙන ගත්තා. මේ ලිපි වලින් අපි උන්වහන්සේ වදාළ ධර්මය කෙරෙහි ශ‍්‍රද්ධාව ඇති කර ගන්නේ කොහොමද කියලා විස්තර කළා.

ඉතින් අපි සියලු දෙනාටමත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ‍්‍රී සද්ධර්මය ගැන නොසෙල්වෙන පැහැදීම ඇතිකර ගන්න වාසනාව උදාවේවා!!!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි
උපුටාගැනීම – “ගෞතම සසුනේ පිහිට ලබන්නට..” පොතෙන්