පි පසුගිය ලිපියෙන් ධර්මයේ ස්වාක්ඛාතෝ, සන්දිට්ඨිකෝ සහ අකාලිකෝ යන ගුණයන් ගැන ඉගෙනගත්තා. ඊලඟ දහම් ගුණය තමයි ඒහිපස්සික. ‘ඒහි’ කියන්නේ එන්න. ඒහිපස්සික ඇවිත් බලන්න. එන්න ඇවිත් බලන්න. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ඊළඟ විශේෂ දේ තමයි ඒ. ඒහිපස්සික, ඇවිත් බලන්න. එතකොට උන්වහන්සේ වදාළ ධර්මය ඕනෑම බුද්ධිමත් කෙනෙකුට ඇවිදින් බලන්න පුළුවන්.

බලන්න තියෙන්නේ ( ඕපනයිකෝ) තමා තුළින්. දැන් අපිට, අපේ රටේ අයට වෙලා තියෙන්නේ ඒකද? තමා තුළින් නෙවෙයි බලන්නේ. ‘අසවලාගේ සිල් කොහොමද? අසවලාගේ භාවනාව කොහොමද? අසවලාගේ දහම් දැනුම කොහොමද?’ ඒ නිසා එහෙම බලන්න බැහැ. තමා තුළින් බලන්න ඕන.

දවසක් බුදුරජාණන් වහන්සේට වයසක සීයා කෙනෙක් මුණ ගැහුනා. බුදුරජාණන් වහන්සේ ඇහුවා සීයාගෙන් “සීයා දානෙ දෙනවද?” කියල. “ඔව් ස්වාමීනි… එහෙමයි ස්වාමීනි. මම දානෙ දෙන්නේ අනෙක් අය වගේ නෙවෙයි, හොඳට හිතල” කිව්වා. “ඒ කොහොමද?” ඇහුවා. “මම සිල්වතුන්ම තෝර තෝර දෙන්නෙ” කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළා. “ඔයා ගිහි කෙනෙක්නෙ. ඔයා සිල්වතුන් එක්ක එකට ජීවත්වෙලා ඉඳලාද සිල්වතුන් හොයන්නේ? කොහොමද ඔයා හොයන්නෙ ඕක?” කියල ඇහුවා. බුදුරජාණන් වහන්සේ කියනවා “සීයේ, ඔයා දානෙ දෙන කොට හිතන්න, මම මේ දානෙ දෙන්නේ ශ‍්‍රාවක සංඝයාටයි” කියලා. නැතුව ඔයාට ඔය විදිහට හොයන්න බැහැ. ඒකේ තේරුම මොකක්ද? මේ ධර්මය ඕපනයික නිසා බාහිරින් බලලා හොයන්න බැහැ.

එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ‘ඕපනයික’ කියන වචනයේ සාමාන්‍ය තේරුම ගත්තොත් පුද්ගලිකයි කියන එක. දැන් අපි ගත්තොත් මෙතැන පිරිසක් ඉන්නවා කියමු. දැන් අපි අතරින් එක්කෙනෙකුට හරි ශ‍්‍රද්ධාවක් ඇති වුනොත් ඒක පුද්ගලික එකක් නෙවෙයිද? පුද්ගලික එකක්. කාගේ හරි සිතක් සමාධිමත් වුනොත්, පුද්ගලික එකක් නෙවෙයිද ඒක? පුද්ගලික එකක්. කවුරුහරි හොඳ සීලයක පිහිටල ඉන්නවා නම්, ඒක එයාගේ පුද්ගලික එකක් නෙවෙයිද? පුද්ගලික එකක්. කවුරුහරි හොඳට නුවණින් විමසනවා නම් ඒක එයාගේ පුද්ගලික එකක් නෙවෙයිද? පුද්ගලික එකක්. ඕපනයිකයි. එය තමා තුළ ඇති කරගන්නා පුද්ගලික එකක්. ඒ නිසයි පින් තියෙන ඕනෑම කෙනෙකුට මේ ධර්මය දියුණු කරන්න පුළුවන්. තව කෙනෙකුගේ අවසරයක් ගන්න ඕන නෑ. තමන්ට ඒක දියුණු කරගන්න පුඵවනි. තමන්ට ධර්ම මාර්ගය ප්‍රගුණ කරගන්න පුළුවනි. ඒක බාහිර කෙනෙකුට වළක්වන්න බැහැ. බාහිර කෙනකුට බාධා කරන්න බැහැ. තමන් හරියටම සතර සතිපට්ඨානය වඩනවා නම් තමන්ට කරගන්න පුළුවන්. ඒ මොකද මේ ධර්මය ඕපනයික නිසා.

බලන්න මේ ධර්මයේ තියෙන ආශ්චර්යය… බුදුරජාණන් වහන්සේගේ කාලේ දුප්පත් ආච්චි කෙනෙක් හිටියා. යනඑන මං නැතිවෙලා, කන්න බොන්න නැති ආච්චි කෙනෙක්. මේ ආච්චි ඇවිදගෙන යනකොට පටාචාරා භික්ෂුණියගේ ආරාමයට ගියා. එදා දානයක් ගෙනල්ලා. දැන් ඉතින් ආච්චිටත් කන්න දුන්නා. කෑම රහයි. ආච්චි කල්පනා කළා ‘මං මෙතැන අතු පතු ගාගෙන හිටියොත්… මෙතැන හොඳට දානෙ හම්බවෙන තැනක්. ඒනිසා මට හොඳට බඩපිරෙන්න මොනව හරි කාලා ඉන්න පුළුවන්.’ දැන් එතකොට ආච්චිගේ ඔලුවට වැටුනේ මොකක් ද? ධර්මයද? කෑමද? කෑම. ඉතින් පටාචාරාට ගිහින් කිව්වා “අනේ භික්ෂුණිය, මම මෙතැන උදව්පදව් කරගෙන ඉන්නම්” කියලා. “හොඳයි ඉන්න” කිව්වා.

දැන් ඉතින් ඉන්නවා එතැන. මෙයා නැවතුනේ මොකටද? කෑමට. මේ ආච්චි කල්පනා කරනවා, දැන් මම වයසක කෙනෙක්. හැමදාම මෙතැන නවත්ත ගන්න එකක් නෑ. මම මහණ වුනොත් මීට ලේසියි. එතකොට මට කොහොමත් නිකන් හම්බවෙනවනේ කියලා පටාචාරාට කියනවා, “අනේ භික්ෂුණිය, මම හරි කැමතියි පැවිදි වෙන්න,” (දැන් මේ පැවිදි වෙන්න හදන්නේ ධර්මය අවබෝධ කරන්නද? කෑමටද? කෑමට.) පැවිදි වුනා. පැවිදි වුනාට පස්සේ කුස්සියේ ඉන්න බැහැනේ. දැන් පටාචාරා භික්ෂුණිය ධර්මය දේශනා කරමින් ඉන්න කොට මෙයත් කොනේ වාඩිවුනා. දැන් භික්ෂුණිය ධර්ම දේශනා කරනවා. ධර්ම දේශනා කරද්දි කියනවා “නුවණින් විමසලා බලන්න, ඇස අනිත්‍යයි… කන අනිත්‍යයි… නාසය අනිත්‍යයි… දිව අනිත්‍යයි… කය අනිත්‍යයි… මනස අනිත්‍යයි… බොරුද කියලා බලන්න. විමසලා බලන්න” කියනවා. දැන් මේවා කියනකොට අරයා අහගෙන ඉන්නවා. ඊට පස්සේ පටාචාරා කියනවා. “මේ එකක්වත් තමාගේ වසඟයේ පවත්වන්න බැහැ. පුළුවන්ද කියලා බලන්න. (මෙහෙම කියන කොට අරයා අහගෙන ඉන්නවා.) මේ ගැන අපට අවබෝධයක් නෑ. ඒ නිසා අපි මේකට ආසා කරනවා. මේකට ආසා කිරීම නිසා අපි දුක් විඳිනවා. බලන්න ඇත්තද නැත්තද?” මේවා ඔක්කොම අරයා දැන් හිත යොමුකරගෙන අහගෙන ඉන්නවා. ටික දවසක් යනකොට මෙයා කල්පනා කරනවා, “මොකක්ද මේ ලාමක කෑමට තියෙන ආසාව? මං මේ ධර්මයට ආස කරන්න ඕන” කියලා මෙයා ධර්මය ප්‍රගුණ කළා. සුළු කලකින් රහත් මෙහෙණින් වහන්සේ නමක් බවට පත්වුනා.

එතකොට බලන්න එයා හිතපු නැති පැත්තකට එයා ගියේ කුමකින්ද? ධර්මයෙන්. ධර්මය පුද්ගලිකයි කියන්නේ ඒකයි. තමා තුළට පමුණුවා ගන්න පුළුවන් ධර්මය. දැන් එයා ආවේ වෙන කාරණයකට. නමුත් එයා ධර්මයට ගියා. එතකොට ඒක තමයි ධර්මයේ තියෙන මූලික ලක්ෂණය. ඒහිපස්සික  කියන්නෙ ඒකයි.බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ලක්ෂණය තියෙන බව අපි අවබෝධ කරගන්න ඕන.

බුදුරජාණන් වහන්සේගේ කාලේ අන්‍ය ආගම්වලට හරියට පහර වැදුනා. පහර වැදුනා කිව්වේ මේ මිනිස්සු ගැහැව්වා, බැන්නා නෙවෙයි. මිනිස්සු යන්නෙ නැතිව ගියා. ලාභ සත්කාර නැතිව ගියා. ඊට පස්සේ තාපසයෝ ටිකක් කතා වුනා. (එතැන හිටියා හරීම දක්ෂ තරුණ තාපසයෙක් ‘සුසීම’ කියලා.) තාපසයෝ ටික කිව්වා “දැන් බලාපන් අපිට ජීවත් වෙන්න විදිහකුත් නෑ. මිනිස්සු ඔක්කෝම යනවා අතනට” කියල. බුදුරජාණන් වහන්සේ ගමකට වඩිනකොට හරි විරුද්ධයි. ඊට පස්සේ ඔක්කෝම රැස්කරලා කීවා “මේ සුසීම ළමයා හරි හොඳයි.” සුසීමට කිව්වා. “නුඹ ගිහිල්ලා මහණ වෙයන්. මහණ වෙලා, ඔය කියන බණ කෑලි ටිකක් හොරකම් කරගෙන වරෙන්. අපිත් ඒකම මෙහේ කියමු” කිව්වා. (බලන්න ඒ කාලේ වෙච්ච දේවල්.)

ඉතින් සුසීම ආනන්ද ස්වාමීන් වහන්සේ හම්බවෙන්න ගියා. ගිහිල්ල කිව්වා “ස්වාමීනි, අනේ මට මේ සංසාරෙන් මිදෙන්න ඕන. මට මේ ධර්මය ඉගෙන ගන්න ඕන, මාව පැවිදි කරන්න” කියලා. බුදුරජාණන් වහන්සේ ගාවට සුසීමව එක්කන් ගියා. ගිහිල්ල කිව්වා. “ස්වාමීනි, මේ තරුණයෙක් ඇවිල්ල ඉන්නවා, මහණ වෙන්න ඕනලූ” “හා… මහණ කරන්න” කිව්වා. දැන් ඉතින් මහණ කළා. (දැන් මෙයා මහණ වුනේ මොකේටද? ධර්මය සොරකම් කරන්න.) මහණ වෙලා, මෙයා ධර්මය හොඳට අහගෙන ඉන්නවා. මෙයාට හොරකම් කරන්න මතකයට ගන්න එපැයි, පොත්පත් තියෙනවැයි ලියාගන්න. හොඳට මෙයා අහගෙන ඉන්නවා. අහගෙන ඉන්න කොට ඔය අතරේ මෙයාට පේනවා භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ලඟට ඇවිල්ලා කියනවා “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මම මහණ වෙච්ච කාරණය සම්පූර්ණ කරගත්තා.” “බොහොම හොඳයි” කියනවා. ඒ කියන්නේ එකේ තේරුම මොකක්ද? “මම දැන් කෙලෙසුන්ගෙන් මිදුනා” කියනවා.

මෙයා දුවගෙන යනවා එයා ලඟට, ගිහිල්ලා අහනවා, “මේ ඔබවහන්සේ කොහොමද මේක කරගත්තේ?” අහනවා. අහල අහනවා, “දැන් ඔබවහන්සේ කිව්වනේ බුදුරජාණන් වහන්සේ ලඟට ඇවිල්ලා, ඔබවහන්සේ රහතන් වහන්සේ නමක් ය කියලා.” “ඔව්” කියනවා. “එතකොට ඔබවහන්සේට ඉර්ධි ප්‍රාතිහාර්යය පාන්න පුළුවන්ද?” “බෑ” කියනවා. “ඔබවහන්සේට දිවැස් තියෙනවාද?” “නෑ” කියනවා. “එතකොට ඔබවහන්සේට අනෙක් අයගේ සිත් බලන්න පුළුවන්ද?” “ඒත් බැහැ” කියනවා. “ඔබවහන්සේට තියෙනවද අතීත ජීවිත බලන්න පුළුවන්කම?” “ඒත් බැහැ” කියනවා. “ඉතින් මොකක්ද වුනේ?” කියල අහනවා. “අපි මේ පඤ්ඤාවිමුක්ත අය. අපි ප්‍රඥාවම දියුණු කරලා මේක අවබෝධ කරගත්තා” කියලා. “අනේ මට තේරෙන්නේ නෑ” කියනවා. “ඉතින් ඔබවහන්සේට තේරුණත් එකයි, නැතත් එකයි අපි පඤ්ඤාවිමුක්ත” කියනවා. ඊළඟ රහතන් වහන්සේ ලඟටත් යනවා. ඒකම කියනවා. ඊට පස්සේ මොකද වුනේ? දැන් මෙයාට මේක හරි ගැටළුවක්.

බුදුරජාණන් වහන්සේ ලඟට ගිහින් කිව්වා.“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මං මෙහෙම මෙහෙම ගියා” දැන් මොකක්ද මෙයාගේ හිතේ තියෙන්නේ? අරවත් එක්කම හොරකම් කරගෙන යන්නයි. අර psychic powers ටිකත් ඔක්කෝම අරන් යන්න. ඊට පස්සෙ ගිහිල්ලා කිව්වා, “මම මෙන්න මෙහෙම ඇහුවා, ඇහුවාම ඒ ගොල්ල එහෙම නෑ කියනවා. නමුත් පඤ්ඤාවිමුක්ත අයලූ. මේ ප්‍රඥාව දියුණු කරලා කෙලෙසුන්ගෙන් නිදහස් වුනා කියනවා. භාග්‍යවතුන් වහන්ස, මොකක්ද මේකේ තේරුම?” බුදුරජාණන් වහන්සේත් අර උත්තරේම දුන්නා. මොකක්ද කීවේ? “ඔබ මේක තේරුම් ගත්තත් නැතත් ඒ අය පඤ්ඤාවිමුක්ත තමයි” කිව්වා.

අන්න එතකොට තමයි එයාට උනන්දුව ඇති වුනේ මේක අල්ලන්න ඕන කියලා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ප‍්‍රකාශවලින් පුද්ගලයා දන්නෙම නැතිව ඕන තැනට ගන්නවා. ඊට පස්සේ කියනවා. “අනේ භාග්‍යවතුන් වහන්ස, මට මේක තෝරල දෙන්න මට පැහැදිලි නෑ” කියනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරගෙන යනවා. අවසන් වෙනකොට රහතන් වහන්සේ නමක් වෙනවා. ඊට පස්සේ එතැනම වැඳ වැටෙනවා, “අනේ ස්වාමීනි, මට සමාවෙන්න. මම මේ ධර්මය අවබෝධ කරන අදහසින් මහණ වුනා නෙවෙයි. මං මේ ධර්මය හොරකම් කරගෙන යන්නයි ආවේ. නමුත් මට දැන් තේරෙනවා… මට සමාවෙන්න…” ඉතින් බුදුරජාණන් වහන්සේ සමාව දෙනවා.

දැන් මේකෙන් මොකක්ද පේන්නේ? ඒ කියන්නේ කෙනෙකුට තියෙනව නම් නුවණින් විමසීමේ හැකියාව, අර ලක්ෂණ තියෙනවා නම් මේ ධර්මයේ… දැන් බලන්න ‘ස්වාක්ඛාත’ කියන එක. බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කළා. ‘සන්දිට්ඨික’ කියන්නේ මේ ජීවිතයේදී අවබෝධ කරන්න පුළුවන් එකක්. ‘අකාලික’ කියන්නේ ඕනෑම කාලෙක අවබෝධ කරන්න පුළුවන් එකක්. එතකොට ස්වාක්ඛාත, සන්දිට්ඨික, අකාලික කියන කරුණු තුන බාහිර වගේ පේන්නේ. ඉතිරි ටික ඔක්කෝම ශ‍්‍රාවකයා ඇතුළට එන්න ඕන ඒවා. මොනවද ඒ? ‘ඒහිපස්සික’ ඇවිත් බලන්න. ඊළඟට ‘ ඕපනයික’ තමා තුළට පමුණුවා ගන්න ඕන පුද්ගලිකව.

ඊළඟ එක මොකක්ද? ‘පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි’. “විඤ්ඤූ” කියල කියන්නේ නුවණැති මනුෂ්‍යයා. නුවණ තියෙන කෙනා. ‘විඤ්ඤූහි’ කියන්නේ නුවණැති මනුෂ්‍යයින් විසින්, ‘පච්චත්තං වේදිතබ්බෝ’ කියන්නේ වෙන් වෙන් වශයෙන් අවබෝධ කළ යුතුයි (බෙදාගන්න බෑ). මට ශ‍්‍රද්ධාව ඇති වුනා. ඒකෙන් කොටසක් තව එක් කෙනෙකුට දෙන්න බැහැ. එයා වෙනම ඇති කරගන්න ඕන. තව කෙනෙකුට ශිලය ඇති වුනා. ඒ ශීලය වෙන කෙනෙකුට දෙන්න බැහැ. එයා වෙනම ඇති කරගන්න ඕන. තව කෙනෙක් සමාධිය ඇති කරගත්තා. ඒ සමාධිය වෙන කෙනෙකුට දෙන්න බැහැ. එයා වෙනම ඇති කරගන්න ඕන. ප්‍රඥාවත් එහෙමයි. මේ නිසා තමයි පවුල් පිටින් නිවන් දකිනවා කියන එක කෙරෙන්නේ නැත්තේ.

දැන් අපි ගමු බුදුරජාණන් වහන්සේගේ ඒ ගිහි කාලේ යශෝදරා දේවිය හිටපු පවුල. ඉතින් යශෝදරා භික්ෂුණියක් වෙලා රහත් භික්ෂුණියක් බවට පත්වුනා. රාහුල කුමාරයත් රහතන් වහන්සේ නමක් වුනා. යශෝදරාගේ අයියා දේවදත්ත නිරයේ ගියා. යශෝදරාගේ තාත්තා සුප්‍රබුද්ධ, උන්දැත් නිරේ ගියා. එතකොට අපිට මේකෙන් පේන්නේ මොකක්ද? අපිට ඕන ඕන හැටියට පවුලේ කට්ටිය ගන්න බැහැ. සමහරු හිතනවා “අනේ අපේ අම්මවත් මේකට ගන්න ඇත්නම්, අපේ මහත්තයවත් මේකට ගන්න ඇත්නම්, අපේ නෝනවත් ගන්න ඇත්නම්, අපේ ළමයිවත් ගන්න ඇත්නම්” එහෙම ගන්න බැහැ. ඇයි ඒ? ‘පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි’ නුවණ තියෙන එක්කෙනා තම තමාට ආවේණික උත්සාහයෙන්, වීරියෙන්, ධෛර්යෙන් තමන්ගේ දෙයක් හැටියට අවබෝධ කරගන්නවා.

බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මේ ලක්ෂණ ඉතිහාසයත් එක්ක අපි ගලපලා බලන්න ඕන. දැන් මේ ධර්මයට අවුරුදු 2550ක ඉතිහාසයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ අපිට හැමතිස්සේම පේනවා ඒ නුවණ තියෙන එක්කෙනා මේ ධර්මය අවබෝධ කරගන්නවා කියලා. එතකොට පින්වත්නි, අන්න ඒ ධර්මය කෙරෙහි අපි පහදින්න ඕන. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය, ඒ ලක්ෂණ වලින් යුතු ධර්මය තමයි ‘දුක’ නම් වූ ආර්ය සත්‍යය. දැන් ඒ දුක නම් වූ ආර්ය සත්‍යය බුදුරජාණන් වහන්සේ විවිධ ක්‍රමයට, විවිධ වචනවලින්, විවිධාකාරයෙන් විස්තර කර කර, විස්තර කර කර දෙනවා. එතකොට නුවණ තියෙන කෙනා මොකද කරන්නේ දුක නම් වූ ආර්ය සත්‍යය අවබෝධ කරනවා.

ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා ‘දුක්ඛ සමුදය’ නම් වූ ආර්ය සත්‍යය. මොකක්ද දුක්ඛ සමුදය කියන්නේ? ‘තණ්හාව’. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හා කියන්නේ, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහට තියෙන ආශාව. කාම තණ්හාව තියෙන වෙලාවට, අපිට භව තණ්හාව හොයන්න බැහැ. විභව තණ්හාවත් හොයන්න බැහැ. ඇයි දැන් අපිට මතුවෙලා තියෙන්නේ කාම තණ්හාව නිසා. කාම තණ්හාව බැඳිල තියෙනවනේ කාමච්ඡන්දයත් එක්ක. නීවරණයක් එක්ක තමයි තියෙන්නේ.

එතකොට භව තණ්හා කියන්නේ, මේ පැවැත්මට තියෙන ආශාව. විභව තණ්හා කියන්නේ නැවැත්මට තියෙන ආශාව. එතකොට මේ තුනම නැතිවෙන්න ඕන නිවන කරා යන්න නම්. දැන් කාම තණ්හා කියන්නේ මේ පංච කාමයට තියෙන ආශාව. භව තණ්හා කියන්නේ පැවැත්මට තියෙන ආශාව. කෙනෙකුට අවබෝධයක් නැත්නම් හිතන්නේ කොහොමද? නිවනට තියෙන ආශාව, විභව තණ්හාව කියලා. නෑ… එහෙම වෙන්නේ නෑ. නිවන කරා යන්න නම් මේ තණ්හා තුනම ප‍්‍රහාණය වෙන්න ඕන. සමහරු අහනවා ඉතින් නිවනටත් අපි ආශා කරනවානේ කියලා. ඒ කියන්නේ එයාට ඕන වාදයක් විතරයි.

දැන් අපි ගත්තොත් අපිට අසනීපයක් හැදිලා නම් ඉන්නේ, අපි බලාපොරොත්තු වෙනවා අසනීපය සනීප කරගන්න. ඒ වෙනුවෙන් අපි වෛද්‍යවරු පස්සේ දුවනවා. බෙහෙත් කරනවා. ඉතින් අපි බෙහෙත්වලට ආසාවෙන්ද ඒ කරන්නේ? අපිට ඕන සනීප වෙන්නනේ. ආන්න ඒ වගේ තමයි නිවන කරා යනවා කියන එක, දුකෙන් නිදහස් වීමේ අවශ්‍යතාවත් එක්ක වෙන එකක්. දුක අවබෝධ වීමෙන් වෙන එකක්.

ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට නුවණින් විමස විමසා බලන්න කියලා. දැන් නුවණින් විමස විමසා බලන්න කියනවා ඇස ගැන, කන ගැන, නාසය ගැන, දිව ගැන, කය ගැන, මනස ගැන. ඊළඟට නුවණින් විමස විමසා බලනකොට මේක අනිත්‍යයි, මේක දුකයි, මේක තමාගේ වසඟයේ පවත්වන්න බැරි (අනාත්ම) දෙයක් ය කියලා අවබෝධ වෙන්න වෙන්න, අපට මේකෙන් නිදහස් වෙන්න ඕන වෙනවා. අවබෝධ වෙන්න වෙන්න තමයි ඕන වෙන්නේ. අවබෝධයක් නැතිව ඕන වෙන්නේ නෑ. එතකොට අන්න නිදහස් වෙන්න ඕන, දුක අවබෝධ වෙන්න ඕන, දුක අවබෝධ වෙනකොට තමයි දුකට ඇලූම් කිරීම එයා අතහරින්නේ. දුකට ඇලුම් කිරීම අත්හැරියොත් තමයි එයා දුකෙන් නිදහස් වෙන්නේ.

ඒකට බුදුරජාණන් වහන්සේ හොඳ ලස්සන උපමාවක් දේශනා කරනවා. අන්ධ මනුෂ්‍යයෙක් හිටියා. ඒ අන්ධ මනුෂ්‍යයාට ඕන වුනා, මේ ලෝකෙ තියෙන ලස්සනම ඇඳුම ඇඳගන්න. ඉතින් යාළුවන්ට කියනවා “මට මෙහෙම ලස්සන ඇඳුමක් අඳින්න ඕන” කියලා. ඉතින් “හා… හා… අපි ඇඳුමක් දෙන්නම්” කියලා මේ අන්ධ මනුෂ්‍යයට කැතම කැත ඇඳුමක් අන්ඳනවා. ඇස් පේන්නෙ නෑනේ. දැන් මෙයා මේ බාච්චුව වගේ එක එල්ලගෙන ටවුමට යනවා. ගිහිල්ල කියනවා, “මේ බලාපල්ලා මගේ ඇඳුමේ ලස්සන…” දැන් එයාට පේනවද ඒක? එයා අන්ධයිනේ. අනිත් අයත් මෙයා සතුටු කරන්න අතගාලා කියනවා, “ෂා… හරි අගෙයිනේ. හැබෑම ලස්සන ඇඳුමක්නේ” කියනවා. ඒ හැමෝම එයාගේ අදහසටම තල්ලූව දුන්නා මිසක් මේක කියන්න විදිහක් නෑනේ. මොකද එයාට පේන්නෙ නෑනේ. දොස්තර මහත්තයෙක් මෙයාගේ ඇස්වලට බෙහෙත් දානවා. ඇස්වලට බෙහෙත් දාන කොට ඇස් දෙක පේන්න පටන් ගන්නවා. එතකොට එයා ඉස්සරලාම බලන්නේ මොකක් දිහාද? ඇඳුම දිහා… බලද්දි මෙයාට පේනවා, මෙයා ලස්සනයි කියලා හිතාගෙන හිටියට මෙයාව රවට්ටලා බාච්චුවක් අන්ඳලා කියලා. එතකොට එයාට මොකද හිතෙන්නේ? “මෙවුන් මාව බොහෝ කාලයක් තිස්සේ වංචා කරගෙන හිටියා” කියලා.

මේ වගේ තමයි මේ දුක අවබෝධ වෙන කොට, අපට එදාට අවබෝධ වෙනවා මේ ඇස, කන, නාසය, දිව, කය, මනස අපිව වංචා කරලා තියෙනවා කියලා. පංච උපාදානස්කන්ධය විසින් අපිව රවට්ටලා තියෙනවා කියලා. එදාට තමයි අපි දකින්නේ. එදාට අපි මේක අත්හරිනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ එයා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තුනම ප්‍රහාණය කළ යුතු දෙයක් කියලා අවබෝධ කරගන්නවා.

ඊළඟට ‘දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය’. ඒ කියන්නේ නිවන. නිවන ගැන බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. (තණ්හක්ඛයෝහි රාධ, නිබ්බාණං) නිවන කියලා කියන්නේ තණ්හාව නැතිවීමමයි. එතකොට තණ්හාව නැතිවීම තමයි නිවන අවබෝධ වීම කියන්නේ. තණ්හාව නැතිවුනා නම් නැති වුනා කියලා අවබෝධ කරගන්නවා. එතකොට ඒ අවබෝධයට වචනයක් කියනවා ‘විමුක්තිය’ කියලා. දැන් දුක අවබෝධ වෙනවා. ඒ අවබෝධයට කියනවා ‘විද්‍යාව’ කියලා. තණ්හාව නිරුද්ධ වෙලා නිවන අවබෝධ වීමට කියනවා ‘විමුක්තිය’ කියලා. එතකොට ‘විජ්ජා විමුක්ති’ කියන දෙක තමයි රහතන් වහන්සේට තියෙන්නේ.

බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විස්තර කර කර දෙනවා දුක නම් වූ ආර්ය සත්‍යය, දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍යය. ඊළඟ ආර්ය සත්‍යය මොකක්ද? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අන්න ඒ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයට තමයි අර කියපු සත්තිස් බෝධි පාක්ෂික ධර්ම අයිති වන්නේ….

→ මතු සම්බන්ධ යි…

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි

උපුටාගැනීම – “ගෞතම සසුනේ පිහිට ලබන්නට..” පොතෙන්

 

මෙවැනි ලිපි කියවන්න කැමති නම් පිවිසෙන්න >>>