නමෝ බුද්ධාය !

කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කර වසර 10ක් සැපිරීම නිමිති කර ගනිමින් ශ‍්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති සහ ශ‍්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහ ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් 2015 මැයි මස 28 වන දින පැවැත්වූ “සාංවත්සරික පුණ්‍යමහෝත්සවය”

මුළු මහත් විශ්වයේ ම යහපත පිණිස පහළ වී වදාළ ගෞතම අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අසිරිමත් සම්බුදු සසුන අප හට දායාද කළෝ අනු බුදු මිහිඳු මහ රහතන් වහන්සේය. කාලයාගේ ඇවෑමෙන් විවිධ හේතූන් නිසා ලක්දිව් තලයෙහි මැනවින් පිහිටා තිබූ සම්බුදු සසුනෙහි සැබෑ අර්ථය ශ‍්‍රාවකයින්ගෙන් දුරස්වන්නට වුණා. ඒ විවිධ අභියෝගයන්ට තම ශක්ති පමණින් මුහුණදීමේ අදහසිනුයි අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහමෙව්නාව භාවනා අසපුව බිහිකරමින් නිමල බුදු දහම පතුරුවාලීමේ වැඩපිළිවෙල ආරම්භකොට වදාළේ.

ගෞතම බුදුසසුනේ චිරස්ථිතිය උදෙසා පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ මධ්‍යම පළාතේ දන්ත ධාතු පුරවරයේ කුණ්ඩසාලේ ප‍්‍රදේශයේ 2005 වර්ෂයේ වෙසක් මස 22 වන දින තාවකාලිකව ඉදිකරන ලද කුටි කිහිපයකින් යුතුව ඇරඹි මහමෙව්නාව භාවනා අසපුව දිනෙන් දින දියුණුවට පත් සුවිශේෂී පුණ්‍ය භූමියක්. එවකට මහවැලි සංවර්ධන අමාත්‍යව සිටි වත්මන් ජනාධිපති තැන්පත් මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ පූර්ණ මැදිහත් වීමෙන් රජයේ අවසරයෙන් බොදු පුනරුදය පිණිස පරිත්‍යාග කරන ලද මේ පුණ්‍ය භූමිය විශේෂයෙන් ම මහනුවර සහ ඒ අවට වසන සැදැහැවතුන් හට පුණ්‍ය තීර්ථයක් ම වුණා.

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මහනුවර ප‍්‍රදේශයේ සිදුකරන්නට යෙදුණු ධර්ම ප‍්‍රචාරය නිසාවෙන් ඇරඹි මේ භාවනා අසපුව වසර කිහිපයක් ඇතුළත මධ්‍යම පළාතේ කීර්තිමත් ධර්ම ප‍්‍රචාරක මධ්‍යස්ථානයක් බවට පත් වුණා. 2007 වර්ෂයේ දී ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් රෝපණය කිරීම සිදු වුණා. ගෞතම බුදු රජුන්ගේ සාම සංදේශය පතුරුවමු යන තේමාවෙන් 2600 වන ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරනු පිණිස  මේ පින්බිමෙහි අඩි 106ක් උසින් යුතු අපගේ ශාස්තෘන් වහන්සේගේත් නිකෙලෙස් මහරහතන් වහන්සේලාගේත් ධාතූන් වහන්සේලා තැන්පත් වන මහා සෑයක් “සිරි ගෞතම සම්බුදු මහා සෑය” නමින් ගෞතම බුද්ධ ශාසනයට දායාද වුණා.

ඒ උතුම් සම්බුද්ධත්ව ජයන්තිය සමරමින් වසරක් පුරාවට පැවති ත්‍රිපිටක සජ්ඣායනය, පාසැල් ළමුන් සහ විශ්ව විද්‍යාල සිසුන් 7000කට පමණ පැවති සීල භාවනා වැඩසටහන, ස්වාමීන් වහන්සේලා සහ අනගාරිකා මෑණීයන් වහන්සේලා 800 නමක් විෂයෙහි පූජා කරන ලද මහා සාංඝික දානය ආදී පුණ්‍ය කර්මයන් අදටත් සිහිවන විට පවා සැදැහැවතුන් ප‍්‍රීතියට පත් කරවනවා. 2013 වර්ෂයේ දී ශෛලමය බෝධි ප‍්‍රාකාරය බුදු සසුනට පූජා කිරීම, අභිනව දාන ශාලාව සහ සංඝාවාසය සඟසතු කොට පූජා කිරීම, කුල දරුවන් පැවිදි කිරීමේ පුණ්‍ය මහෝත්සවය ආදී එදා උත්කර්ෂවත් ආකාරයෙන් පැවැතිවීමට කටයුතු යෙදුනා.

භික්‍ෂූන් වහන්සේලා 35 නමකට පමණ වැඩසිටිය හැකි විවේකි කුටි සෙනසුන් ඇතුළු උපෝසථාගාරය, ගිලන්හල, පුස්තකාලය, දානශාලව, ධර්ම ශාලාව ආදී අංගයන්ගෙන් කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුව අංග සම්පූර්ණ පුණ්‍ය භූමියක් බවට අද වෙනවිට පත්වී තිබෙනවා. පුන් පෝහෝ දිනයන්හී 5000 කට අධික සැදැහැවතුන් ඉතා සුවසේ ශිල භාවනා වැඩසටහන් වලට මේ අසපු භූමියේදී සම්බන්ධ වන අතර මාසික භාවනා වැඩසටහන් යොවුන් සදහම් වැඩසටහන් සිඟිති දහම් වැඩසටහන් ඉතා සාර්ථකව ක‍්‍රියාත්මක වනවා. ඒ අතර ගම්පොල, නාවලපිටිය, පූඩළුඔය, රිකිල්ලගස්කඩ, වලපනේ, පේරාදෙණිය විශ්ව විද්‍යාලය යන ස්ථානයන්හි පැවැත්වෙන ශීල භාවනා වැඩසහන් දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ දහම් පිපාසය සංසිදුවනවා.

මේ උතුම් ධර්ම ප‍්‍රචාරය අතරතුර අහිංසක අසරණ රෝගීන් උදෙසාද අති සාර්ථක සමාජ සත්කාරයක් ක‍්‍රියාත්මක වනවා. සෑම වසරකම මහනුවර මහ රෝහලේ බාහිර රෝගී අංශය පිළිසකර කිරීම, මාස හතරකට වරක් මධ්‍යම පළාතේ වැඩිම රුධිර ඒකක ප‍්‍රමාණයක් ජාතික රුධිර සංචිතයට ලබාදෙන රුධිරදාන වැඩසටහන් ක‍්‍රියාත්මක වනවා. රෝහල් සදහා අවශ්‍ය වන නවීන ස්වයංක‍්‍රීය ඇඳන් ලබාදීම, රෝහල් වලට අත්‍යවශ්‍ය පරිත්‍යාගයන් කිරීම, දුෂ්කර ගම්මාන වල වෛද්‍ය සායනයන් පැවැත් වීම, සුවිසාල ජනතාවක් රැස්වෙන පුණ්‍ය උත්සව වලදී ප‍්‍රථමාධාර ඒකකයන් පිහිටු වීම ආදීය ඉති සාර්ථක ලෙස සිදුකිරීමට හැකියාව ලැබී ඇත්තේ කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපු කේන්ද්‍ර කරගෙන කි‍්‍රයාත්මක වන මහමෙව්නාව සුවසේවා ආයතය නිසාවෙනුයි.

මෙවන් වූ සුවිසල් ධර්මප‍්‍රචාරයක් සහ සමාජ සත්කාරයක් දියත් කිරීමට මෙවැනි ප‍්‍රදේශයක උතුම් පින්බිමක් පිහිටුවීමේ වටිනාකම හදුනා ගත් ඒ සදහා ස්වකීය උපකාරය මුළු හදවතින්ම ලබා දුන් අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිඳුන් ඇතුළු අද දක්වාම නන් අයුරින් උපකාර කළ සැමට රැස් වූ මහානිශංස පුණ්‍යධර්මයන් අනුමෝදන් වෙත්වා. අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ කාරුණික අවවාදයන් අනුව මුළු මහත් ලංකා ද්වීපයටම යහපත සදමින් ක‍්‍රියාත්මක වන කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුව සිය දසවන සංවත්සරයට පා තබන්නේ ගෙවුනු කෙටිකාලය තුළ සුවිසල් මෙහෙවරක් සිදුකලා සේම ඉදිරියටත් ගෞතම බුදු සසුනේ උද්දීප්තිය පිණිසම කටයුතු කිරීමේ නිර්මල බලාපොරොත්තුවෙන් යුතුවයි. ඒ සදහා තුනුරුවනේ අනන්ත ආශීර්වාදය සැලසේවා…..

තෙරුවන් සරණයි!