අපගේ ශාස්තෘන් වහන්සේ සසර පිළිබඳවත් භව ගමනේ ඇති විවිධ විචිත්රත්වය පිළිබඳවත් අතැඹුලක් සේ පසක් කොටයි ලොවට පහදා දෙන්නේ. පසේබුදුවරුන් පිළිබඳව මේ අසිරිමත් වෘත්තාන්තයන් අපට දැනගන්නට ලැබුණේත් ඒ නිසාමයි.මිතුරන් අතරේ සිටි විට – සෙල්ලමට ඇලේ
දරුවන් අතර සිටි විට – පෙම බලවත් වේ
ප්‍රියයන් කෙරෙන් වෙන් වන – දුකට පිළිකුල් කරමින
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ ….
පසේබුදුවරුන් පහළ වූ යුගයේදී අද අපි අසන අයුරින් චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස දහම් දෙසන්නට ලොව කවුරුවත් සිටියේ නැහැ. එයට හේතුව සම්මා සම්බුදු කෙනෙකුන් පහළ නොවී තිබීමයි. එනිසා ලොව කිසිවෙකුට සම්බුදු කෙනෙකුගේ මුවින් මුල, මැද, අග පිරිසිදු පැහැදිලි අරුත් ඇති, පැහැදිලි වදනින් සපිරි, ඒ අමා නිවන් මග නම් අබුද්ධෝත්පාද කාලයක අසන්නට ලැබෙන්නේ නෑ.
පසේබුදුවරයන් වහන්සේලා අවබෝධය ලබන්නේ සද්ධර්මශ්රවණයෙන් තොරවයි. අප අයිති වන්නේ ශ්‍රාවක ගණයටයි. ශ්‍රාවකයන් කරනු ලබන්නේ ශ්‍රවණය කොට දැනුම ලබාගැනීමයි. එසේ ලබාගත් ධර්මඥානය ඇසුරෙන් නුවණ මෙහෙයවා සත්පුරුෂ භූමියට පැමිණෙන්ට ශ්‍රාවකයන්ට වාසනාව ලැබෙනවා. සත්පුරුෂ භූමියට පත් ශ්‍රාවකයන් තුළ පළමුව පිහිටන්නේ කෙළෙහි ගුණයි. කෙළෙහිගුණ දන්නා බව සත්පුරුෂ භූමිය හඳුනාගන්නා සළකුණ වේ. ඒ සඳහා බාහිරින් ලැබෙන සද්ධර්ම ශ්‍රවණය පිණිස කල්‍යාණමිත්‍ර සේවනය අතිශයින්ම උපකාරී වේ. අභ්‍යන්තරව ඇති යෝනිසෝ මනසිකාරය නම් වූ නුවණින් විමසීම අතිශයින්ම උපකාරී වේ. මෙසේ අභ්‍යන්තර බාහිර හේතු කාරක ධර්මයන්ගේ සමෝධානයෙන් සත්පුරුෂ භූමියට පත් ශ්රාවකයා පෘථග්ජන භාවයෙන් අත්මිදී ආර්යශ්රාවකභාවයට පත් වේ.
පසේබුදුවරයන් වහන්සේලාගේ ස්වභාවයට මෙයට වෙනස්ය. උන්වහන්සේලාට සද්ධර්ම ශ්‍රවණය නොලැබේ. සමථ භාවනාව දියුණු කරගත යුතු ආකාරය හෝ ස්කන්ධ, ධාතු, ආයතන විමසමින් විදර්ශනා ප්‍රඥාව දියුණු කරගත හැකි ආකාරය හෝ සවිස්තරව පෙන්වා දෙන කළණ මිතුරන්ගේ ඇසුර එකලට නැත. මෙහිදී සිදුවන්නේ බාහිර උපකාරයකින් තොරව ස්වකීය ප්‍රඥාව දියුණු වීමයි. මේ සඳහා පුණ්‍ය මහිමයෙන් සකස් වූ නුවණින් විමසීමේ හැකියාව නිසැකවම උපකාරී වෙනවා.
ඛග්ගවිසාණ සූත්‍රයෙහි ඇතුළත් හත්වෙනි ගාථාවට අදාළ කථා ප්‍රවෘත්තිය මෙයයි. එක්තරා අවධියක බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජෙක් වාසය කළා. මොහුට එක පුත් කුමරෙක් සිටියා. ඉතින් මේ රජතුමා ඒ පුත් කුමරාට අසීමිත ආදරයක් දක්වන්නට පටන් ගත්තා. මේ කුමරා නොදැක නොසිටිය හැකි තරමටම දරු ස්නේහය ලියලා තිබුණා. ඒ රජතුමා බොහෝ විට ආහාර ගන්නේ, වාසය කරන්නේ, නිදාගන්නේ, මේ පුත් කුමරා සමඟයි. එනිසාම රජතුමාට ‘ඒකපුත්තික බඹදත් රජු’ යන නම පටබැඳුණා. එනම් එකම දරුවෙක් සිටින බඹදත් රජා යන්නයි.
දිනක් රජතුමා උද්‍යාන ක්‍රීඩාවට ගියා. එදා පුත් කුමරාට මාළිගයේ රැඳී සිටින්නට අවශ්‍ය වුණා. ඒ නිසා පිය රජු සමඟ උයන් කෙළියට ගියේ නෑ. රජතුමා සාංකාවෙන් වගේ උයන් කෙළියට ගියේ. රජතුමාට කිසි සතුටක් තිබුණේ නෑ. ඒ නිසාම පුතු පැමිණියේ නැති සාංකාව මග හැරගන්නට රජතුමා ඇති පදමට මද්‍ය පානය කළා. එනිසාම කුමරුව අමතක වුණා.
ඔය අතරේ මාළිගයේ සෙල්ලම් කරමින් සිටි පුත් කුමරා හදිසියේ අසනීප වුණා. අසාධ්‍ය වුණා. රාජකීය වෛද්‍යවරුන් කැඳවා ප්‍රතිකාර කරන්නට උත්සාහ කළත් අසාර්ථක වුණා. මිය ගියා. ඇමතිවරු කලබල වුණා.
“හරි වැඬේ! දැන් අපි මොකද කරන්නේ? රජ්ජුරුවන් වහන්සේ මේ විපතට කොයි ආකාරයෙන් මුහුණ දෙයිදැයි කාට නම් කිව හැකිද? රජ්ජුරුවන්ට තමාගේ නෙත් සඟල වන් ප්‍රිය පුත්‍ර රත්නය මේ අයුරින් මළකඳක් ලෙස දකින්නට ලැබුණහොත් මක් වේවිද? හදවත පැළී යාවිද? සිහි විකල් වේවිද? උමතුවේවිද?”
එතකොට ප්‍රධාන පුරෝහිත බ්‍රාහ්මණයා මෙහෙම කිව්වා.
“ඇමතිවරුනි, අපට කරන්නට තියෙන්නේ එක දෙයයි. අපි රජතුමාට මෙය නොදන්වා සිටිමු. මෙය දැනගත හොත් කුමක් වේවිදැයි කිව නොහැකියි. එනිසා රජතුමාට නොදන්වාම කුමාරයාගේ ආදාහන කටයුතු අවසන් කරමු.”
ඉන්පසු පුරෝහිත බ්‍රාහ්මණයා ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය රැස්වුණා. අගබිසව ප්‍රධාන කුලාංගනාවන් රැස් වුණා. රජතුමාගේ ජීවිතය බේරා ගැනීම පිණිස කළ යුතු දේ ගැන ගැඹුරින් සාකච්ඡා කළා. කිසිවෙකුටත් මේ ගැන සිතා ගත නොහැකියි. රජතුමා එතරම්ම තම පුත් කුමරාට වසඟව සිටියා. රජතුමාගේ ජීවිතය රැක ගැනීම උදෙසා දරුවාගේ මෘත ශරීරය නොපෙන්විය යුතු යැයි පැවසූ පුරෝහිත බ්‍රාහ්මණයාගේ තීරණයට එකඟ වෙන්නට සියල්ලන්ටම සිදුවුණා. එනිසා සියලූ දෙනා හැඬූ කඳුලින් යුතුව පුත් කුමරාගේ අවසන් කටයුතු සිදු කළා.
උද්‍යාන ක්‍රීඩාවට ගිය රජතුමා එදා බොහෝ වේලාවක් උයනේම ගත කළා. දිගින් දිගටම මද්‍ය පානය කළා. සවස් වෙද්දී රජතුමා පැමිණ කෙළින්ම සිරියහන් ගබඩාවට ගොස් පුත් කුමරා සිහි නොකොට නින්දට බැස ගත්තා. දෙවෙනි දවසේ සුවඳ පැන් ස්නානය කොට ආහාර අනුභව කරන වේලෙහි පුත් කුමරාව සිහි වුණා.
“ඇමතිවරුනි, කෝ…. කුමාරයා? ඊයෙ දවස පුරාම මට කුමාරයාව දකින්නට ලැබුණේ නෑ. වෙනදාට මාළිගය පුරා දුව පැන ඇවිදින හඬ ඇසෙනවා. අද කිසිවක් නොඇසේ. කුමාරයා වෙන තැනක සෙල්ලමෙන් කල් ගෙවනවා වත්ද? කමක් නෑ. ඉක්මනින් කුමාරයාව ගෙන එන්න. මගේ අතින්ම මගේ පුතුට බත් කවන්නට ඕන.”
ඇමතිවරු බිම බලාගත්තා. බිසවුන් වහන්සේ තිරයට මුවා වී කඳුළු වැකුණු මුහුණුන් රජතුමා දෙස බලා සිටියා. සියලූ දෙනා නිශ්ශබ්ද වුණා. මොහොතකට මුළු මාළිගාවම ගොළු වී ගිය බවක් දිස්වුණා. ආයෙමත් රජතුමා කතා කළා.
“මොකෝ මේ….? ඇයි? කුමාරයා කොහේවත් ගියාද? මොකද නිශ්ශබ්ද?”
සියල්ලන්ටම මෙම ශෝක ජනක ප්‍රවෘත්තිය හදවතෙහි දරා සිටින්නට බැරිව ගියා. එසැණින්ම සියලූ දෙනා හඬා වැටුණා. බිසවුන් වහන්සේ පැමිණ රජතුමා පාමුල වැටී වැළපෙන්න පටන් ගත්තා.
රජතුමා අන්දමන්ද වුණා. නෙත් විදහාගෙන වටපිට බැලූවා. තැති ගත්තා. කිසිවක් තේරුණේ නෑ.
“ඇයි මේ? ඇයි මේ වැළපෙන්නේ? මොකද වුණේ? ඔව්… කියන්න. මොකද වුණේ?”
“දේවයන් වහන්ස, අපේ රත්තරන් පුත් කුමරා ඊයේ අභාවයට පත් වුණා. අපට උහුලගන්න බෑ. සිත් වේදනයි. ඔබවහන්සේ අපේ පුත් කුමරාට දැක්වූ අසීමිත ආදරය නිසා එකවරම මේ කාරණය අපි කිව්වෙ නෑ. පුත් කුමරා මිය ගියා. ඊයේම ආදාහන කටයුතු කළා. අනේ දෙවියනේ…. මෙවැනි දෙයක් අපි කොහොමද ඉවසන්නේ? ඔබවහන්සේට මෙය උසුලන්නට නොහැකි වුවහොත් කරදරයකට පත්වේවි යන අදහසිනුයි මෙතෙක් වේලා නොකියා සිටියේ. ඔබවහන්සේට ඇති ආදරය නිසාමයි අපි නොකියා සිටියේ.”
රජතුමා දෑස පියා ගත්තා. හිත හදාගන්නට මහන්සි ගත්තා. හදවත පැළී යන තරම් දරුණු වූ දරු ශෝක යක් ඉස්මතු වෙවී ආවා. සම්, මස්, නහර, ඇට, ඇටමිදුළු රිදුම්කන වේදනාවක් පැනනැංගා. රජතුමා දැඩි ආයාසයකින් එය මැඬ ගත්තා. රජතුමා ශෝක ය මඬින්නට වෙර වඩද්දී ඇඟ මවිල් කෙලින් වී යන අයුරු හැමෝම බලා සිටියා. රජතුමා ඇස් ඇරියේ නෑ. බොහෝ වේලාවක් ඒ ඉරියව්වේම සිටියා.
ජීවිතය යනු ඇති වී නැති වී යන දෙයක් බව තේරුම් ගන්නට රජතුමා මහන්සි ගත්තා. ක්‍රමක්‍රමයෙන් වේදනාව තුනී වී ගියා. ශෝක ය අඩු වී ගියා. කායික මානසික අපහසුතා සංසිඳී ගියා. සිත එකඟ වී ගියා. රජතුමාට හිතෙන්නට පටන් ගත්තා, “ඔව්. මරණයට පත්වීම උපන් මොහොතේ සිටම තියෙන එකක්. මෙය ධර්මතාවයක්. උපන් සත්වයාට මෙයින් මිදෙන්නට පිළිවෙලක් නෑ. ඉපදීම ඇති කල්හි ජරා මරණ තියෙනවාමයි. උපදින්නේ මක් නිසාද? උපන් සත්වයා තුළ පැහැදිලි විවිධත්වයක් තියෙනවා. මේ සත්වයා ඉපිද සිටින්නේ ඒකාකාරී ලෙස නොවෙයි. මෙයට හේතුව තම තමා තුළ සකස් වූ කර්ම විපාකයන්ගේ වෙනස්කම බව පැහැදිලියි. භවය ඇති කල්හි ඉපදීම සිදුවේ. භවය හටගන්නේ මක් නිසාද? කෙනෙක් තුළ උපතක් පිණිස කර්ම සකස් වන්නේ යමකට සිරවී සිටි විටයි. උපාදානය ඇති විටයි. එසේ නම් උපාදානය ඇති කල්හි භවය ඇත. මේ අයුරින් ‘මෙය ඇති කල්හි මෙය ඇත’ යන ධර්මතාවයත්, ‘මෙය උපදින විට මෙය උපදී’ යන ධර්මතාවයත් වැටහෙන ආර්ය න්‍යාය රජතුමාට අවබෝධ වෙන්න පටන් ගත්තා.
එමෙන්ම හේතු ප්රත්යයන්ගෙන් හටගන්නා යම් දෙයක් ඇද්ද, ඒ හේතු නිරුද්ධ වීමෙන් ඒ පල ද නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්ත බව රජතුමාට අවබෝධ වුණා. ‘මෙය නැති කල්හි මෙය නැත’ යන ධර්මතාවයත්, ‘මෙය නිරුද්ධ වන කල්හි මෙය නිරුද්ධ වේ’ යන ධර්මතාවයත් රජතුමාට අවබෝධ වුණා.
රජතුමා තුළ සමාධියත්, ප්‍රඥාවත් මැනැවින් වැඞී ගියා. ලොවෙහි පැවැත්ම තුළ තිබෙන්නේ ආස්වාදයට මුලා වී සිටීම නිසා, ආදීනව වැළඳගෙන සිටීම බව මැනැවින් පසක් වී ගියා. ආස්වාදයෙනුත් ආදීනවයෙනුත් නිදහස් වීම පිණිස අවබෝධයෙන්ම ඒවා අත්හළ යුතු බවත් රජතුමාට පසක් වුණා. අවබෝධයෙන්ම කළකිරීම ඇතිවුණා. විරාගය ඇතිවුණා. සියල්ලෙන් නිදහස් වී ගියා. නිකෙලෙස් වුණා. අරහත්වයට පත්වුණා. පසේබුදුරජාණන් වහන්සේ නමක් බවට පත්වුණා.
රජතුමා තුළ ඇති වූ මේ වෙනස එක්වරම හඳුනාගන්නට කිසිවෙකුටත් බැරිවුණා. හැබැයි, රජතුමා ශෝක ය සංසිඳුවා ගත් බව හැමෝටම පැහැදිලි වුණා. සියලූ දෙනා පුදුම වුණා. අසීමිත දරු සෙනෙහසකින් වෙළී සිටි රජතුමා අතිශයින්ම දක්ෂ අයුරින් ශෝක හුල ඉවත් කරගත් අයුරු දකින විට පුදුම නොවී සිටින්නේ කොහොමද? ඉතාමත් ශාන්ත ඉරියව්වකට පත්වුණා. මුහුණේ තිබූ ශෝකාකූල බව නැත්තටම නැතිවුණා. සංසුන් වුණා. තැන්පත් වුණා.
බිසවුන් වහන්සේ ආදරයෙන් රජතුමාව ඇමතුවා.
“අපගේ පින්වත් මහරජ්ජුරුවන් වහන්ස, ජීවිතය ඔහොම තමයි. අපි කොතරම් ආදරය කළත් වෙනස් වී යන දෙය, වෙනස් වී යනවා මයි. මේ බරණැස් නගරයේ කොතරම් පොඩි දරුවන් මිය යනවාද? අපේ පුතුටත් සිදුවූයේ ඒ දේම නොවේද? එනිසා රජතුමනි, ඒ ගැන මුසුප්පු නොවී වැඩවසන සේක්වා! ඔබවහන්සේගේ සිත් වේදනා සංසිඳවීම පිණිස අපි සියලූ දෙනාම හැම කැපවීමක්ම කරන්නෙමු.”
“පින්වත් නැගණිය, වෙනස් වන සියල්ල වෙනස් වී යාම ධර්මතාවයක්. ඒ ලෝක ස්වභාවයක්. ලෝක ස්වභාවයට අයත් දේ ආශාවෙන් පිළිඅරගෙන දුක් විඳින්නේ අපමයි. මට වැටහුණා. හොඳින්ම වැටහුණා. මේ ලෝක ස්වභාවයෙන් මං දැන් නිදහස්.”
බිසවුන් වහන්සේ බියට පත්වුණා. නෙත් විදහාගත්තා. කඳුළු පුරවා ගත්තා. මුව අයා ගත්තා. වටපිට බැලූවා. ඇය තුළ ඒ වෙනස ඇතිවුණේ මක්නිසාද යන්න තේරුම් ගැනීමට ඇමතිවරුන්ට වැඩි වෙලාවක් ගියේ නෑ. ඇමතිවරු ඉදිරිපත් වුණා.
“පින්වත් රජ්ජුරුවන් වහන්ස, මේ ඉන්නේ නැගණියක් නොවෙයි. ඔබවහන්සේගේ බිසවුන් වහන්සේය. පින්වත් රජ්ජුරුවන් වහන්ස, සිහිය උපදවා ගන්නා සේක්වා!”
“පින්වත, මා තවදුරටත් රජෙක් නොවෙයි. මට මේ සියල්ල අකැපයි. මගේ ලෝකයට මේ කිසිවක් අයිති නැහැ. මගේ ලෝකයට අයත් එක දෙයක් තියෙනවා. එනම් මේ සියල්ලෙන් අත්මිදී ගිය බවයි. නිදහස් වී ගිය බවයි. විමුක්තියට පත් වූ බවයි. දුක ශෝක ය, වේදනාව, වැළපීම, බිය, තැතිගැනීම, කම්පාව, කඳුළු සැළීම යන සියල්ලෙන් මං දැන් නිදහස්. ඒවා මට අයිති නෑ. ආදරය, සෙනෙහස, ළබැඳියාව ආදී කිසිවක් මට අයිති නෑ. ඇලෙන, ගැටෙන කිසිවක් මා සිතේ නොරැඳේ.”
“දේවයන් වහන්ස, ඔබවහන්සේ කතා කරන්නේ මුනිවරයෙකුගේ දෙයක් මිස රජෙකුගේ දෙයක් නොවෙයි. ඊයේ උද්‍යාන ක්‍රීඩාවට ගොස් ඔබවහන්සේ ඇතිපදම් මධුවිත පානය කළා. සිහි නුවණින් තොරව සිටියා. අද දරු ශෝකයෙන් ඔබවහන්සේගේ හදවත දෙදරා ගියා. ඒ මොහොතේම ඔබවහන්සේ මුනිවරයෙකුගේ බස් තෙපළන්නේ කෙසේදැයි අපි නොදනිමු.”
“පින්වත, ඇත්ත! ඒ සියල්ලම ඇත්ත. ඊයේ සිදු වූ දෙය අතීතයට ගියා. අද සිදු වූ දෙයත් අතීතයට ගියා. නමුත් මුනිවරයෙකුගේ බස් තෙපළන මා තුළ යම් වෙනසක් ඇද්ද, එය මට තවමත් දැනෙනවා. එය විස්තර කරන්නට මම නොදනිමි. නමුත් එක් දෙයක් දනිමි. මා තුළ කිසි කලබලයක් නැහැ. නොවැටහීමක් නැහැ. සිහි මුලාවීමක් නැහැ. මෝහයක් නැහැ. වෙනස් වන ලෝකය හොඳින් හඳුනාගෙනයි මා ඉන්නේ. මා කම්පා නොවී සිටින්නේ සිහි මුලාව නොව, සිහි නුවණ වැඞීම නිසාමය.”
“දේවයන් වහන්ස, සිහි නුවණ වැඞී ගොස් විමුක්තිය කරා යන්නේ ශ්රමණයන් වහන්සේලායි. පච්චේකබුද්ධ නමින් උන්වහන්සේලා ප්‍රසිද්ධයි. උන්වහන්සේලා කෙස් රැවුල් බහා, කසාවත් දරා, පාත්‍රා අතැතිවයි සිටින්නේ. දේවයන් වහන්ස, ඔබවහන්සේ එයට වෙනස් බව දන්නා සේක්වා!”
එවිට රාජ වේශයේ සිටි පසේබුදුරජාණන් වහන්සේ අතින් හිස පිරිමැද්දා. සළු පිළි දෙස බැලූවා. සැණෙකින් කෙස් රැවුල් අතුරුදහන් වුණා. රාජකීය වස්ත්‍ර අතුරුදහන් වුණා. කසාවත් පෙරැවුණා. පාත්‍රයක් අත රැඳුණා. උන්වහන්සේ මිහිරි ස්වරයෙන් මෙම ගාථාව වදාළා.
ඛිඩ්ඩා රතී හෝති සහාය මජ්ඣේ
පුත්තේසු ච විපුලං හෝති පේමං
පියවිප්පයෝගඤ්ච ජිගුච්ඡමානෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ“යහළු මිත්‍රයන් අතර සිටිද්දී කෙළි සෙල්ලම්වලටයි සිත ඇදී යන්නේ. කාම සැපයටමයි සිත ඇදී යන්නේ. දරුවන්ට මැදි වී සිටිද්දී දාරක පේ‍්‍රමයමයි බලවත් වී යන්නේ. ඒ හේතුවෙන් තමන්ට පි‍්‍රය වන දේ අහිමි වී ගිය විට ශෝක හුලෙන් පහර කන්නට වෙනවා. මං එයට කැමති නැහැ. මට එය පිළිකුල්. ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”
සාදු! සාදු!! සාදු!!!
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත
අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴