“කවුරුත් ජීවිතයට ආසයි”

පින්වතුනේ, පින්වත් දරුවනේ, අර හයේ කල්ලිය කලින් අවවාදයට හැදුණු බවක් පෙනෙන්නට නැහැ. තව භික්ෂු පිරිසක් හිටියා. ඔවුන්ගේ ගණන දාහතයි. ඒ නිසා ඒ පිරිසට කිව්වේ සත්තරස වග්ගීය කියලයි. ඒ සඟ පිරිසත් දෙව්රමට ඇවිදින් තමන්ට විවේකයෙන් සිටීමට ආසන පණවමින් සිටියා.

එදාත් අර හයේ කල්ලිය දඩබ්බර විදිහට කඩා වැදුණා.

“හා…! හා…! දැන් ඉතින් එළියට යන්න. කෝ වැඩිමහල්ලන්ට කිසි සැලකිල්ලක් නැහැ නෙව.”

“නෑ… මේවා හැදුවේ අපට. ඔබවහන්සේලාට ඕන්නම් ආසන හදාගන්න එකයි ඇත්තේ.”

“මුන්දැලා ඕනවට වැඩියි” කියලා එක භික්ෂුවක් තල සැතකින් ගහන අදහසින් උඩට ඉස්සුවා. එතකොට අර භික්ෂු පිරිස හයියෙන් කෑගැහුවා. බුදුරජාණන් වහන්සේටත් මේ ඝෝෂාව ඇහුණා. ඒ පිරිස කැඳෙව්වා. අවවාද කළා. තල සැතකින් පහර දීම තහනම් කොට ශික්ෂා පදයක් පැණෙව්වා.

“පින්වත් මහණෙනි. භික්ෂූන් වහන්සේලා හැටියට මෙත් සිතින් වාසය කළ යුතුයි නේද? තමන් ගැන පොඞ්ඩක් කල්පනා කරන්න. තමන් දඬුවටම භයයි. අනිත් අයත් දඬුවමට භයයි. තමන්ට තමන්ගේ ජීවිතය ප්‍රියයි. අනිත් අයටත් තමන්ගේ ජීවිතය ප්‍රියයි. මේ නිසා තමන්ව උපමා කරගෙන ගහන මරණ ඒවා නොකර ඉන්න.”

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය වදාළා.

 

 

සබ්බේ තසන්ති දණ්ඩස්ස – සබ්බේසං ජීවිතං පියං
අත්තානං උපමං කත්වා – න හනෙය්‍ය න ඝාතයේ

දඬුවම් විඳිනට බිය වෙති සැම දෙන – තම ජීවිතයට ආසයි සැම දෙන
උපමා කරගත යුතුය තමා ගැන – හිරිහැරයක් නැසුමක් නොකෙරුව මැන


පින්වතුනේ, පින්වත් දරුවනේ, අපි කවුරුත් අපේ ජීවිතයට ආසයි. බිය සැක නැතුව සැපසේ වාසය කරන්නට ආසයි. දඬුවම් නැතුව, හිරිහැර නැතුව වාසය කරන්ටත් ආසයි. තමන්ගේ ආසාව වගේම තමයි අනිත් අයගේ ආසාවත්. හැමෝම එකම විදිහට තම ජීවිතයට ආදරෙයි. මෙය තේරුම් ගත්තු කෙනා අනුන්ට වධ හිංසා කරන්න යන්නෙ නෑ. අනුන්ගෙ ජීවිතයක් නසන්න යන්නෙත් නෑ.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ