“හැම දෙනාම සැප විඳින්නට කැමතියි”

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඇතැම් පොඩි දරුවන් සමනලයින් දුටු විට ඔවුන්ව අල්ලන්නට යනවා. එතකොට උන්ගේ තටු කැඩෙනවා. මරණයට පත්වෙනවා. සමහර ළමයි කුරුල්ලන්ව අල්ලන්නට යනවා. ඒ හේතුවෙන් උන් මැරිලා යනවා. තවත් ළමයින්ට කටුස්සන්ව පේන්න බෑ. උන්ට හිරිහැර කරනවා. ඇත්තෙන්ම ඒ හැම දෙයක්ම පව්. අපේ ගම්වල මිනිස්සු මෝඩකමට කියනවා ‘විෂ ඝෝර සර්පයා – අත නෑර මෝඩයා’ කියලා. ඒ කියන්නේ විෂඝෝර සර්පයෙක් දුටුවිට මෝඩයෙක් වගේ ඌට යන්න නොදී මරපන් කියන එකයි. මේ කථාව නිසා බොහෝ දෙනා අතින් සතුන් මැරෙනවා.

චුට්ටක් හිතන්න. ඔය ගොඩාක් සර්පයින් ඉපදෙන කොට ඔවුන් තුළ විෂ දළ තියෙන බව උන් දන්නෙ නැහැ. සර්පයන් දෂ්ට කරන්නේ ඛන්ධ පිරිත නොකියන නිසයි. නිතර නිතර ඛන්ධ පිරිත කියනවා නම් සර්පයන් දෂ්ට කරන්නේ නෑ. ඒ බව බුදුරජාණන් වහන්සේ තමයි වදාළේ.

දැන් අපි ඉගෙන ගන්නේ ඒ වගේ කථාවක්. පොඩි දරුවන් සමූහයක් සෙල්ලම් කරමින් සිටියා. ඒ වෙලාවෙ පාර මැද්දෙන් සර්පයෙක් ගියා.

“මෙන්න භයානක සර්පයෙක් ආවෝ…. ඉක්මනින් මරාපල්ලා…. නැත්නම් අපට දෂ්ට කරාවි” කියල කෑ ගැහුවා. ළමයි ඔක්කොම ඈතින් වටවෙලා දඬු මුගුරු අරගෙන සර්පයාට ගහන්න පටන් ගත්තා. ඒ මොහොතේදී පිඬු සිඟා වැඩිය බුදුරජාණන් වහන්සේ එතැනට වැඩියා.

“මොකද දරුවනේ මේ…? දඬු මුගුරු අරගෙන මහා කලබලෙන්. කාටද ඔය ගහන්නේ…?”

“ස්වාමීනී, ආන්න බලන්න. අර ඉන්නේ… ඒ භයානක සර්පයෙක්. අපි මේ ඌටයි ගහන්නේ.”

“ඇයි දරුවනේ ඒ සර්පයාට ගහන්න හිතුවේ?”

“ස්වාමීනී, ඒ සර්පයාව අපි මැරුවේ නැත්නම් ඌ අපට දෂ්ට කරාවි. එතකොට අපි මැරෙනවනේ…”

“ඉතින් දරුවනේ, ඔයාලා තමන්ට සැප ළඟා කරගන්න හිතාගෙන නේද ඔය සතාට පහර දෙන්නේ? එහෙම කරන අයට උපනූපන් ආත්මයක සැප නම් ලැබෙන්නෙ නැහැ. තමන්ගේ සැප උදෙසා අනුන්ට පහර දෙන්න කිසිසේත්ම වටින්නේ නැහැ.”

මෙහෙම වදාළ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගාථා දෙක ඒ දරුවන්ට ලස්සනට කියා දුන්නා.

සුඛකාමානි භූතානි – යෝ දණ්ඬේන විහිංසති
අත්තනෝ සුඛමේසානෝ – පෙච්ච සෝ න ලභතේ සුඛං

සියලු සත්වයෝ මෙලොවෙහි – සැප විඳින්ට කැමැත්තෝය
තමාගෙ සැප සොයන කෙනා – හිංසා කළ විට අනුන්ට
පරලොව ගිය විට කිසි කල – සැපයක් නොම ලබන්නේය

සුඛකාමානි භූතානි – යෝ දණ්ඬේන න හිංසති
අත්තනෝ සුඛමේසානෝ – පෙච්ච සෝ ලභතේ සුඛං

සියලු සත්වයෝ මෙලොවෙහි – සැප විඳින්ට කැමැත්තෝය
තමාගෙ සැප සොයන කෙනා – හිංසා නොකරයි අනුන්ට
පරලොව ගිය විට ඔහු හට – යහපත් සැප ලැබෙන්නේය


පින්වතුනේ, පින්වත් දරුවනේ, මේක හොඳට ඉගෙන ගන්න. ලොවේ සියලු දෙනාම සැප විඳින්නට කැමතියි. අපි විතරක් නොවෙයි සත්තුත් කැමතියි. එය තේරුම් නොගන්නා නිසා අන් අයට හිංසා කරනවා. හැබැයි මේ කාරණය හොඳට තේරුණොත් එයා කාටවත් හිංසාවක් කරන්නෙ නෑ. ඇත්තෙන්ම එයා තමයි පරලොවදිත් සැප ලබන්නෙ.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ