බුදුවරු හැමතැන පහළ නොවෙති

පින්වතුනේ, පින්වත් දරුවනේ, භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ හැටියට වැඩසිටි මහා පින් ඇති අපේ ආනන්ද තෙරුන් වහන්සේට උතුම් අදහස් පහළ වෙනවා. යහපත් කල්පනාවක්මයි හිතේ පහළ වෙන්නේ. උදාර අදහස්මයි හිතන්නේ. බුද්ධෝපස්ථාන කරන කාලයේ ආනන්දයන් වහන්සේ සෝවාන් ඵලයට පමණයි පත්වෙලා හිටියේ. උන්වහන්සේ අරහත්වයට පත්වුණේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙයි.

බුදුරජාණන් වහන්සේ කෙරෙහි ආනන්දයන් වහන්සේ තුළ තිබුණු ආදර ගෞරවය ඉතා හොඳින් කැපිල පෙනුණා. ඒ වගේම ප්‍රජාපතී ගෞතමී භික්ෂුණීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුණී සංඝයා කෙරෙහිත් ගෞරවයක් ආනන්දයන් වහන්සේ තුළ තිබුණා. භික්ෂු සංඝයා කෙරෙහි ආදර ගෞරවයක් තිබුණා. විවේකයෙන් සිටිද්දී කල්පනා කළෙත් උතුම් දේවල්මයි.

එදා ජේතවනයේ වැඩසිටි ආනන්දයන් වහන්සේ පිඬු සිඟා වැඩම කරලා රුක් සෙවණක විවේකයෙන් වැඩසිටියා. එතකොට උන්වහන්සේට මෙවැනි අදහසක් ඇතිවුණා.

‘ආජානීය හස්තීන් කියලා සුවිශේෂ ඇතුන් කොටසක් උපදිනවා. ඔවුන් උපදින්නේ ඡද්දන්ත කුලයේ හෝ උපෝසථ කුලයේ හෝ විතරයි. ආජානීය අශ්වයොත් ඉන්නවා. ඔවුන් උපදින්නේ සෛන්ධව කුලයේ හෝ වළාහකරාජ කුලයේ හෝ විතරයි. ආජානීය වෘෂභ රාජයන් ඉන්නවා. ඔවුන් උපදින්නේ දක්ඛිණාපථයේ කියලයි මං අහල තිබෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ මේ වගේ විශේෂ සතුන් උපදින ප්‍රදේශ ගැන අපට වදාළා. එතකොට ඇත්තෙන්ම ආජානීය පුරුෂයන් උපදින්නේ කොහේද? මං ඒ කාරණය දැනගන්න ආසයි.’

ඉතින් අපගේ ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත ගිහින් ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. මේ ප්‍රශ්නය ඇහුවා.

“පින්වත් ආනන්ද, ආජානීය පුරුෂයා සෑම තැන උපදින්නේ නෑ. කෙලින් බැලුවොත් යොදුන් තුන්සීයක් පමණ දික් වූ පළලින් බැලුවොත් යොදුන් එක්දහස් දෙසිය පණහක් පමණ වූ වට ප්‍රමාණයෙන් යොදුන් නවසීයක් පමණ වූ මධ්‍යම ප්‍රදේශයේ විතරයි ආජානීය පුරුෂයාගේ උපත සිදුවන්නේ. මේ ආජානීය පුරුෂයා උපදින්නේ මහාසාර ක්ෂත්‍රීය කුලයක හෝ මහාසාර බ්‍රාහ්මණ කුලයක හෝ විතරයි. වෙන කුලයක උපදින්නේ නෑ.”

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මධුර ස්වරයෙන් මෙම ගාථා රත්නය වදාළා.

දුල්ලභෝ පුරිසාජඤ්ඤෝ – න සෝ සබ්බත්ථ ජායති
යත්ථ සෝ ජායති ධීරෝ – තං කුලං සුඛමේධති

ආජානීය පුරුෂ වූ – බුදු උපත අති දුලභය
එබඳු උතුමන් තැන තැන – පහළ වන්නේ නැතිමය
ඒ මහා නැණවතාණන් – උපදී ද යම් කුලයක
ඒ කුලය සැප ලබන්නෙ

පින්වතුනේ, පින්වත් දරුවනේ, ආජානීය පුරුෂයා කියන්නේ බුදුරජාණන් වහන්සේටයි. ඇතැම් අවස්ථාවල සාමාන්‍ය ව්‍යවහාරයේදී පවා විශේෂ පුද්ගලයන්ට ‘අසවලා ආජානීය පුරුෂයෙක්’ කියලා කියන අවස්ථාවල් අසන්නට ලැබෙනවා. නමුත් මෙම තොරතුරු දෙස බලද්දී බුදුරජාණන් වහන්සේ විග්‍රහ කොට තිබෙන්නේ බුදු උපත ගැන පමණයි. එසේ නම් ලොවෙහි ආජානීය පුරුෂයා කියා කිව හැක්කේ බුදුරජාණන් වහන්සේට පමණි. බුදු උපත සිදුවන්නේ දඹදිව මධ්‍ය ප්‍රදේශයේ පමණයි. ඒ බව බුදුරජාණන් වහන්සේ වදාළ අවස්ථා කිහිපයක සඳහන් වෙනවා. ඉතින් ආජානීය පුරුෂ වූ ඒ බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබීම අප ලද ලොකුම වාසනාවයි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ