බුදුසරණ ලැබෙන හැටි හරි පුදුමයි.

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ගොඩාක් පින් ඇති අය ඉපදිලා හිටියා. හැබැයි තම තමන්ගේ සසරගත පුරුදු අනුව අනවශ්‍ය දේවල්වල පැටලිලා හිටියා. තමන්ට ධර්මයේ පිළිසරණ ලැබෙන කාලය එනකම් ඔහේ ජීවත් වුණා. නොයෙක් දෘෂ්ටි ගත්තා. වැරදි මතවාදවල පැටලුණා. නමුත් නිවන් අවබෝධය සඳහා පින මතුවෙද්දී ඒ සියල්ල අභිබවා දහම කරා ගියා. එවැනි කථා ප්‍රවෘත්තියක් තමයි දැන් දැනගන්නේ.

කොසොල් රජ්ජුරුවන්ගේ පියාගේ නම මහකොසොල් රජු. ඔහුට පුරෝහිත බ්‍රාහ්මණයෙකු හිටියා. මේ බ්‍රාහ්මණයාගේ නම අග්ගිදත්ත. පිය රජතුමාගේ කළුරිය කිරීමෙන් පසු රජකම ලැබුණේ පසේනදී කෝසල රජුටයි. මාගේ පියරජුගේ පුරෝහිත බ්‍රාහ්මණයා නෙව කියලා කොසොල් රජතුමාත් මොහුව ඒ පරණ පුරෝහිත තනතුරේම පිහිටෙව්වා.

ඉතින් ඒ අග්ගිදත්ත බ්‍රාහ්මණයා රාජසේවය පිණිස පැමිණෙද්දී කොසොල් රජු පෙරගමන් කොට පිළිගන්නවා. ‘ආචාර්යපාදයෙනි, මෙහි වාඩිවෙන්න’ කියලා තමන් අසලින්ම ආසනයක වාඩිකරවා ගන්නවා. කලක් යද්දී ඔහුට මෙහෙම හිතුණා.

‘මේ රජතුමා මට සෑහෙන්න ගෞරව දක්වනවා. නමුත් හැමතිස්සේම රජවරුන්ගේ සිත පහදවාගෙන සිටීම ලෙහෙසි වැඩක් නෙවෙයි. සමාන වයසින් වත් හිටියා නම් රාජ සැපයෙහි සැපකුත් තියෙනවා. නමුත් මං මහළු කෙනෙක් නෙව. මට වටින්නේ පැවිදි වීමයි’ කියලා මේ අග්ගිදත්ත බ්‍රාහ්මණයා රජතුමාගෙන් අවසර ලබාගත්තා. නගරය පුරා අඬබෙර පැතිරෙව්වා. තමන්ගේ නිවසට මහාජනයා රැස් කළා. හත් දවසක් මුළුල්ලේ සියලු ධනය දන් දුන්නා. බුදුසසුනෙන් බාහිර පැවිද්දෙන් පැවිදි වුණා.

මේ අග්ගිදත්ත බ්‍රාහ්මණයාට හිතවත්ව සිටි දස දහසක් පිරිවරත් පැවිදි වුණා. ඉතින් මේ අග්ගිදත්ත බ්‍රාහ්මණයා පිරිස පිරිවරාගෙන අංග, මගධ, කුරු යන රටවල් අතරේ වාසය කරමින් චාරිකාවේ යනවා. පැවිදි වූ පිරිසට අවවාදත් කරනවා.

“මාගේ දරුවෙනි, කාම විතර්කාදී අකුසල් උපන්නොත් ඒ හැම වාරෙටම අර නදියෙන් එක එක වැලි ගොටුව බැගින් මෙතැනට ගෙනැවිත් විසුරුවන්න.”

ඉතින් ඔහුගේ පිරිසත් කාම විතර්කාදිය හිතේ ඇතිවුණු වෙලාවට වැලි ගෙනත් ගෙනත් විසිරෙව්වා. කලක් යද්දී මහා වැලි ගොඩක් ඇතිවුණා. එතකොට අභිච්ඡත්ත කියන නමින් යුතු මහා නාගරාජයෙකු ඇවිදින් ඔය වැලිගොඩට අරක් ගත්තා. අංග, මගධ, කුරු රටවාසී මහජනයා මාසයක් පාසා මේ පැවිද්දන් සඳහා මහත් සත්කාර පැවත්තුවා. දාන මාන දුන්නා. එතකොට මේ අග්ගිදත්තයන් දායකයින්ට මෙහෙම අවවාද කළා.

“එම්බා පින්වත්නි, සියලු දුකෙන් මිදෙන්නට ඕන නම් පර්වත සරණ යව්. වනාන්තර සරණ යව්. ආරාම සරණ යව්. වෘක්ෂ සරණ යව්” කියලා. තමන්ගේ අතවැසියනුත් මේ අවවාදය තමයි දෙන්නේ.

එදා බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි වැඩසිටිමින් හිමිදිරි උදෑසන සම්බුදු ඇසින් ලොව බලා වදාළා. උන්වහන්සේගේ උතුම් බුද්ධ නේත්‍රයට පෙනී ගියේ පිනෙන් මෝරා ඇති අග්ගිදත්තයන් සහ ඔහුගේ පිරිවරයි.

භාග්‍යවතුන් වහන්සේ මහා මොග්ගල්ලානයන් වහන්සේව ඇමතුවා.

“මොග්ගල්ලාන, අර අග්ගිදත්තයන් මහාජනයාව වැරදි තොටකට බස්සනවා නෙව. ඔබට පෙනෙනවා නේද? යන්න. ගිහින් ඔහුට අවවාද කරන්න.”

“ස්වාමීනී, එතන ලොකු පිරිසක් ඉන්නවා. හුදෙකලාවේ ඉන්න මට ලොකු පිරිසක් සමඟ සිටීම අපහසුයි. නමුත් භාග්‍යවතුන් වහන්සේ වඩිනා සේක් නම් මට පහසුවක් වේවි.”

“මොග්ගල්ලාන, මමත් පැමිණෙනවා. ඔබ පළමුව යන්න.”

එතකොට මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මෙහෙම හිතුවා.

“එතන මහා විශාල පිරිසක් ඉන්නවා. පිරිස මැද්දට ගිහින් යම්කිසි කරුණක් කිව්වොත් ඔවුන් සමූහ වශයෙන් එක් රැස් වෙවී දහම් කතාවට ඇති ඉඩකඩ අහුරන්න ඉඩ තියෙනවා.”

එහෙම හිතලා මොග්ගල්ලානයන් වහන්සේ ඉර්ධිබලයෙන් පොද වැස්සක් ඇතිකළා. එතකොට හිටි හිටි තැනින් නැගිටලා ඔවුන් තම තමන්ගේ පන්සල් කුටිවලට පිවිසුණා. මොග්ගල්ලානයන් වහන්සේත් අග්ගිදත්ත බ්‍රාහ්මණයාගේ පන්සල් දොරකඩට ගියා. ‘අග්ගිදත්ත’ කියලා ඇමතුවා. පන්සල ඇතුළේ හිටිය අග්ගිදත්තයන්ට නම කියා අමතනවා ඇහුණා.

“ම්… මේ ලෝකයේ මට නමින් අමතන්නට සමර්ථ කෙනෙක් නම් නෑ. කවුද මට මේ නමින් අමතන්නේ…?”

දැඩි මාන්නයකින් යුතු අග්ගිදත්තයන් “කවුද ඔය..?” කියලා ඇහුවා.

“බ්‍රාහ්මණය, මේ මම”

“ඉතින් මොකද කියන්නේ…?”

“බ්‍රාහ්මණය, මට අද එක් රැයක් මෙහි ඉන්න තැනක් අවශ්‍යයි. ඒකයි ඔබට මේ කිව්වේ…”

“මෙහි ඉන්න තැන් නෑ… එක එක්කෙනාට පන්සල බැගින් තියෙන්නේ.”

“අග්ගිදත්ත, මිනිස්සු මිනිසුන් ළඟට යනවා. ගවයා ගවයන් ළඟට යනවා. පැවිද්දා පැවිද්දන් ළඟට යනවා. ඒ නිසා ඔහොම කරන්න එපා. මට ඉන්න තැනක් දෙන්න.”

“ඒ කියන්නේ ඔබ පැවිද්දෙක්ද?”

“එසේය. මම පැවිද්දෙක්.”

“ඉදින් පැවිද්දෙක් නම් කෝ ඔබගේ පැවිදි පිරිකර? කෝ කරබඩු?”

“බ්‍රාහ්මණය, මට පැවිදි පිරිකර තියෙනවා. ඒවා ඔසොවාගෙන යාම දුකක් නිසා මම අභ්‍යන්තරය තුළමයි රැගෙන යන්නේ.”

“එහෙම නම් ඒවත් අරගෙන යන එකයි ඇත්තේ…”

“අග්ගිදත්ත, කේන්ති ගන්න එපා… මට ඉන්න තැනක් දෙන්න.”

“මෙහෙ ඉන්න තැන් නෑ…!”

“එහෙම නම් අර වැලිගොඩේ කවුද වාසය කරන්නේ…?”

“එතන නාගරාජයෙක් ඉන්නවා.”

“එහෙම නම් එතන දෙන්න”

“හප්පා… එතන දෙන්න බෑ… ඒක මහා බරපතල වැඩක් නෙව.”

“ආ.. ඒකට කමක් නෑ. එතන දෙන්න.”

“එහෙම නම් ඒකෙ වගකීම ඔහෙම බලාගන්න.”

අපගේ මහාමොග්ගල්ලානයන් වහන්සේ ඒ වැලි ගොඩ දෙසට පිටත් වුණා. එතනට වඩින තෙරුන් වහන්සේව දුටු නාගරාජයා මෙහෙම හිතුවා.

‘ම්…. මේ ශ්‍රමණයා මේ පැත්තට වගෙයි එන්නේ… මෙතන මං ඉන්න තැනක් බව දන්නෙ නැතිව ඇති. හරි… දුම් පිටකරලම මං මොහුව මරණවා….’ කියලා නාගරාජයා දුම් පිටකළා.

‘මේ නා රජු හිතාගෙන ඉන්නේ තමන්ට පමණයි දුම් පිට කරන්න පුළුවන් කියලා. අන් අයට බැරිය කියලයි හිතාගෙන ඉන්නේ’ කියලා මහා මොග්ගල්ලානයන් වහන්සේත් තම සිරුරෙන් දුම් පිට කලා. ඒ මුළු ප්‍රදේශයම දුමෙන් වැසී ගියා.

මේ සිරුරු දෙකෙන් නැගුණු දුම බඹලොව දක්වා පැන නැංගා. මොග්ගල්ලානයන් වහන්සේට කිසි බාධාවක් නෑ. නාගරාජයාට නම් හරිම අමාරුයි. දුමෙහි පීඩාව ඉවස ගන්න බැරි නාගරාජයා ගිනිදැල් පිටකළා. මොග්ගල්ලානයන් වහන්සේත් ගිනිදැල් පිටකළා. ඒ ගිනිජාලාව බඹලොව තෙක් පැනනැංගා. අපේ මොග්ගල්ලානයන් වහන්සේට කිසි පීඩාවක් ඇතිවුණේ නෑ. නමුත් නාගරාජයාගේ මුළු සිරුරම ගිනි පන්දමක් වගේ පිච්චුණා. ඒ ඍෂිවරු පිරිස ඒ දෙස බලාසිටියා.
“හප්පේ… ආන්… නාගරාජයා අර ශ්‍රමණයාව දවනවා… හරි අපූරු ශ්‍රමණයෙක්… කෝ අපේ වචනය ඇහුවේ නෑ නෙව. නිකං වැනසුණා.”

මොග්ගල්ලානයන් වහන්සේ නාරජු දමනය කළා. ඒ වැලිගොඩ මත වැඩහිටියා. එතකොට ඒ නාගරාජයා තමන්ගේ දරණ වැලෙන් වැලිගොඩ ඔතාගෙන මොග්ගල්ලානයන් වහන්සේට ඉහළින් පෙණය ඔසොවාගෙන සිටියා.

ඒ ඍෂිවරු උදෑසනම ‘ශ්‍රමණයා මැරුණාවත්ද? මැරිලා නැද්ද?’ කියලා මොග්ගල්ලානයන් වහන්සේ ළඟට ගියා. ගිහින් ඇඳිලි බැඳ වන්දනා කරගෙන මෙහෙම ඇහුවා.

“ශ්‍රමණයන් වහන්ස, නාගරාජයාගෙන් කරදරයක් වුණේ නැද්ද?”

“ඇයි ඔබට පේන්නෙ නැද්ද? මට ඉහළින් පෙණ ගොබය ඔසොවාගෙන ඉන්නේ නාගරාජයා නෙව.”

“භවත් ශ්‍රමණයන් වහන්ස, ඇත්තෙන්ම ආශ්චර්යයි. මෙබඳු වූ නාගරාජයාවත් දමනය කළා නෙව” කියලා අපේ මොග්ගල්ලානයන් වහන්සේව වටකරගත්තා. ඒ මොහොතේම භාග්‍යවතුන් වහන්සේ වැඩම කළා. මොග්ගල්ලානයන් වහන්සේ නැගිට ගිහින් භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා. එතකොට ඍෂිවරු උන්වහන්සේගෙන් මෙහෙම ඇහුවා.

“මේ තැනැත්තා ඔබවහන්සේටත් වඩා බලවත් කෙනෙක්ද?”

“මේ වැඩඉන්නේ අපගේ ශාස්තෘන් වහන්සේ වන භාග්‍යවතුන් වහන්සේ. මම මුන්වහන්සේගේ ශ්‍රාවකයෙක්.”

භාග්‍යවතුන් වහන්සේ වැලිගොඩ මත වැඩහිටියා. අර ඍෂිවරු පිරිස ‘ශ්‍රාවකයන් වහන්සේට මෙච්චර ආනුභාවයක් නම් ශාස්තෘන් වහන්සේට කොහොම ආනුභාවයක් ඇද්ද’ කියලා වන්දනා කරගෙන හිටියා. භාග්‍යවතුන් වහන්සේ අග්ගිදත්තයන් ඇමතුවා.

“අග්ගිදත්ත, ඔබ ශ්‍රාවකයන්ට, උපස්ථායකයන්ට අවවාද කරද්දී මොනවද කියන්නේ?”

“එම්බා පින්වත්නි, සියලු දුකෙන් මිදෙන්නට ඕන නම් පර්වත සරණ යව්. වනාන්තර සරණ යව්. ආරාම සරණ යව්. වෘක්ෂ සරණ යව් කියලයි මං කියන්නේ.”

“නැහැ අග්ගිදත්ත. ඕවා සරණ ගිහින් සියලු දුකින් නිදහස් වෙන්ට බෑ. බුදුන්, දහම්, සඟුන් සරණ ගියොත් සියළු සසර දුකෙන්ම නිදහස් වෙනවා.”

මෙසේ වදාළ බුදුරජාණෝ මෙම ගාථාවන් මිහිරි සරින් වදාළා.

බහුං වේ සරණං යන්ති – පබ්බතානි වනානි ච
ආරාමරුක්ඛචේත්‍යානි – මනුස්සා භයතජ්ජිතා

බියෙන් තැතිගත් මිනිසුන් – පර්වත හා වනාන්තර
ආරාම රුක් මෙන්ම චේතිය – මෙවැනි බොහො දෑ සරණ යත්මයි

නේතං ඛෝ සරණං ඛේමං – නේතං සරණමුත්තමං
නේතං සරණමාගම්ම – සබ්බදුක්ඛා පමුච්චති

මේ සරණෙහි රැකවරණයක් නැත්තේ
උතුම් සරණක් නොවේ මෙසරණ
මේ සරණ වෙත පැමිණි කෙනෙකුට
හැම දුකින් නැත්තේය මිදුමක්

යෝ ච බුද්ධඤ්ච ධම්මඤ්ච – සංඝඤ්ච සරණං ගතෝ
චත්තාරි අරියසච්චානි – සම්මප්පඤ්ඤාය පස්සති

යම් කෙනෙක් බුදුසරණ ලැබගෙන
දම්සරණ සඟසරණ ලැබුවෙද
උතුම් වූ චතුරාර්ය සත්‍යය
මනා නුවණින් දකිනු නිසැකය

දුක්ඛං දුක්ඛසමුප්පාදං – දුක්ඛස්ස ච අතික්කමං
අරියඤ්චට්ඨංගිකං මග්ගං – දුක්ඛූපසමගාමිනං

දුකත්, එහි හටගැනීමත් – දුක් ඉක්මවා යෑමත්
අරි අටැඟි මග නම් වූ – දුක් නැතිකරන ගමනත්

ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං සරණමුත්තමං
ඒතං සරණමාගම්ම – සබ්බදුක්ඛා පමුච්චති

මෙසරණයි රැකවරණය – මෙයයි උත්තම සරණය
මෙසරණට පැමිණුනු කෙනා – හැම දුකින් නිදහස් වෙයි

පින්වතුනේ, පින්වත් දරුවනේ, භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම ගාථාවන් සහිත දේශනාවට සවන් දුන් ඒ සියලු ඉසිවරු පටිසම්භිදාලාභී රහතන් වහන්සේලා බවට පත්වුණා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ‘පින්වත් මහණෙනි, මෙහි එන්න. බඹසර හැසිරෙන්න’ කියලා වදාළා. එසැණින්ම ඒ සියලු දෙනා වහන්සේටම සිවුරු පිරිකර පෙරවුණා. හැටවස් පිරුණු තෙරුන් වහන්සේලා වගේ දිස්වුණා. ඒහිභික්ෂු පැවිදි උපසම්පදාව ලැබුණා.

එදා අංග, මගධ, කුරු රටවාසීන් දන් පැන් අරගෙන එන දවසක්. මේ ඉසිවරු සියලු දෙනා පැවිදි වී සිටිනවා දැකලා ඔවුන් මෙහෙම කල්පනා කළා.

“දැන් මෙතන ශ්‍රේෂ්ඨ කවුද? අග්ගිදත්ත බ්‍රාහ්මණයාද? නැත්නම් ශ්‍රමණ ගෞතමයන් වහන්සේද?”

එතකොට භාග්‍යවතුන් වහන්සේ අග්ගිදත්තයන් දෙස බලා, “අග්ගිදත්ත, මේ පිරිසේ සැකය නැතිකරන්න” කියා වදාළා.

අග්ගිදත්තයන් වහන්සේ ඉර්ධිබලයෙන් සත් වරක් අහසේ කරකැවී භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණ වන්දනා කළා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘන් වහන්සේය. මම ශ්‍රාවකයා වෙමි” කිව්වා. ඒ සියලු දෙනාත් භාග්‍යවතුන් වහන්සේ සරණ ගියා.

පින් තියෙන කෙනාට ධර්මය ලැබුණු හැටි හරි පුදුමයි. අපිත් තෙරුවන් කෙරෙහි සිත පහදාගෙන උතුම් තිසරණ සරණ ගිහින් පිළිසරණ සදා ගනිමු.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ