කාරුණිකයි සම්බුදු ඔවදන්…

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඇතැම් අවස්ථාවන්හීදී කාටවුණත් තමන්ට යහපත පිණිස පවතින දේ හරියාකාර ලෙස වටහාගන්නට බැරිවෙනවා. එතකොට අයහපතට හේතුවන දේ තමයි හරි කියලා හිතෙන්නේ. යහපතට හේතුවෙන දේ ගැන ආශාවක් ඇතිවෙන්නේ නෑ. එවන් අවස්ථාවන්හීදී නිසි අවවාද ලැබීම ඉතාම ප්‍රයෝජනයි. උතුම් අවවාද නොලැබුණොත් දිගටම පිරිහෙන්න වුණත් ඉඩතියෙනවා. මෙලොව ජීවිතයත් සම්පූර්ණයෙන්ම පිරිහිලා පරලොව සතර අපායේ වැටෙන්න වුණත් ඉඩතියෙනවා. එවැනි කරදරයකට පත්වුණොත් මොනතරම් අවාසනාවක්ද?එවැනි භික්ෂුවකගේ කථාවක් තමයි දැන් ඔබ ඉගෙන ගන්නේ.

එක් තරුණයෙක් ඉතාම ශ්‍රද්ධාවෙන් පැවිදි වුණා. උපසම්පදාත් වුණා. උපාධ්‍යායන් වහන්සේ විසින් ධර්මය ඉගෙන ගැනීම පිණිස ටිකක් ඈත පළාතකට මේ නවක භික්ෂුව පිටත් කළා. ඔය අතරේ උන්වහන්සේගේ පියා අසනීප වුණා. තම පුත්‍ර ස්වාමීන් වහන්සේව දැකගන්නට බලවත් ආශාවක් ඇතිවුණා. පණිවිඩයක් යවන්නට මහන්සි ගත්තත් බැරිවුණා. පුත්‍ර ස්වාමීන් වහන්සේ දකින්නට නොලැබුණු නිසා ඉතාමත් කණගාටුවෙන්, ශෝකයෙන් තමයි හිටියේ. රෝගය උත්සන්න වෙලා මරණාසන්න වුණා.

“පොඩි පුතේ, මාගේ පුත්‍රයන් වහන්සේට පාත්‍ර සිවුරු ආදිය පිළියෙල කරගැනීමේ අවශ්‍යතාවයක් වුණොත් මෙන්න මේ කහවණු සියය නොවැරදීම දෙන්නට ඕන” කියලා බාල දරුවාගේ අතේ කහවණු සියය තිබ්බා. මේ අහිංසක පියා තම පුත්‍ර ස්වාමීන් වහන්සේ නොදැකම කලුරිය කළා.

පියාගේ මරණය ගැන සැළ වූ ස්වාමීන් වහන්සේ පැමිණියා. එතකොට බාල සහෝදරයා උන්වහන්සේගේ පාමුල වැටී හඬමින් මෙහෙම කිව්වා.

“අනේ ස්වාමීනී, අපගේ පියාණන් නුඹවහන්සේ නොදැක හඬා වැළපෙමින් මරණයට පත්වුණේ. මගේ අතේ කහවණු සියයක් තිබ්බා. ඔබවහන්සේගේ සිවුරු පිරිකරවලට වියදම් කරන්න කියලා. මං මේකෙන් මොකද කරන්නේ…,?”

“අනේ මට කහවණු වලින් වැඩක් නෑ” කියලා මේ ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා. ටික දවසක් ගියාට පස්සේ මෙහෙම හිතුණා.

“මං මේ අනුන්ගේ ගෙවල්වලට පිණ්ඩපාතේ ගිහින් ජීවත් වෙන එකේ තේරුම මොකක්ද? කහවණු සියයකුත් මං වෙනුවෙන් තියෙනවා නෙව. මට ජීවත් වෙන්න මේකෙන් පුළුවන් වේවි. ඔව්… මං සිවුරු හරිනවා.”

මේ විදිහට මේ භික්ෂුව දිගින් දිගටම කල්පනා කරමින් හිටියා. දැන් භාවනාවට සිත නැමෙන්නේ නෑ. වත්පිළිවෙත් කරන්න සිත නැමෙන්නේත් නෑ. සතුටින් දානෙ ගන්නෙත් නෑ. ඇඟ කෙට්ටු වෙලා, සුදුමැලි වෙලා, පාණ්ඩු රෝගියෙක් වගේ වුණා. කුඩා සාමණේරවරුන් උන්වහන්සේගෙන් මේ සිරුර වැහැරීම ගැන විමසුවා.

“අනේ… ඉඳල වැඩක් නෑ. මං ගෙදර යන්න හිතාගෙන ඉන්නේ…” කියල කිව්වා.

ආචාර්යය උපාධ්‍යායය තෙරුන් වහන්සේලාට මේ කරුණ දැනගන්නට ලැබුණා. උන්වහන්සේලා තම ශිෂ්‍ය භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ ළඟට කැඳවාගෙන ගියා.

“හැබෑද පින්වත් භික්ෂුව, සිවුරු හරින්න හිතෙනවාද?”

“එහෙමයි, ස්වාමීනි.”

“ඇයි එහෙම හිතෙන්නේ? සිවුරු හැරියොත් ජීවත් වෙන්න මොකුත් පිළිවෙලක් තියෙනවාද?”

“එහෙමයි, ස්වාමීනී.”

“ඒ කියන්නේ ඔබට මොනවද තියෙන්නේ?”

“ස්වාමීනී, මට කහවණු සීයක් තියෙනවා.”

“හොඳයි භික්ෂුව. එහෙම නම් මං ඔබට කියන්නම් වැඩක්. ගිහින් ගල්කැට සීයක් අරගෙන එන්න. අපි වියදම් ගැනලා බලමු. එතකොට අපිට තේරුම් ගන්නට පුළුවන්නේ මේ කහවණු සීයෙන් ජීවත් වෙන්න පුළුවන්ද බැරිද කියලා.”

ඉතින් අර භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ ළඟට ගල්කැට සියයක් අරගෙන ගියා. එතකොට බුදුරජාණන් වහන්සේ අර භික්ෂුවට මෙහෙම වදාළා.

“කෑම බීම පිණිස වියදමට ගැනීමට එහෙම නම් දැන් කහවණු පනහක් වෙන් කරන්න…. හරි… දැන් ඊළඟට ගොන් බානක් ගන්න එපායැ… ඒකට කහවණු විසිහතරක් වෙන් කරන්න…. හරි… ඊළඟට බිත්තර වී ත් ඕන නෙව. ඒකටත් මෙපමණ කහවණු වෙන් කරන්න… ඊළඟට වියගස් නගුල් ආදියට තව කහවණු ටිකක් වෙන් කරන්න… හරි… උදළු වෑ පොරෝ ආදියත් ඕන නෙව. ඉතින් කෝ ඒකට කහවණු…? දැන් මදිනේ….?

පින්වත් භික්ෂුව, ඔබට තියෙන්නේ කහවණු ටිකයිනේ. ඔය කහවණු ටිකෙන් හිතේ ඇති ආශාව සම්පූර්ණ කරන්නේ කොහොමද? ඉස්සර කාලෙ සක්විති රජ කෙනෙක් හිටියා. ඉතින් ඒ රජ්ජුරුවන්ට පුළුවන් වුණා අත්පුඩි ගහලා දොළොස් යොදුනක ප්‍රමාණයේ මැණික් වරුසාවක් ඉණ දක්වා වැහෙන්න වස්සවන්න. සක්විති රජකමට වඩා සක් දෙව් රජකම උතුම් කියලා සක් දෙව්රජව උපන්නා. සක් දෙවිවරු තිස් හය දෙනෙකු ඉපිද චුත වෙන ආයු කාලය ඒ රජතුමා දිව්‍ය රාජ්‍යයත් කළා. නමුත් තණ්හාව සම්පූර්ණ වුණේ නැතුවයි මරණයට පත්වුණේ.”

මේ ගැන භික්ෂූන් වහන්සේලාට දැනගන්නට ආසා හිතුණා. ඒ අතීත විස්තරය කියා දෙන්න කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා හිටියා. ඒ වෙලාවේ මහාමන්ධාතු ජාතකය වදාළා. ඊටපස්සේ මේ ගාථා රත්නයන් වදාළා.

න කහාපණවස්සේන – තිත්ති කාමේසු විජ්ජති
අප්පස්සාදා දුඛා කාමා – ඉති විඤ්ඤාය පණ්ඩිතෝ

රන් කහවණු වැස්සක් ඇදහැලුණත් – තනි කෙනෙකුට නැහැ සෑහෙන්නේ
සුළු සතුටක් ඇති කාම සැපය තුළ – බොහො දුක් විඳවිය යුතු වන්නේ
නුවණින් විමසා බලමින් සොඳ ලෙස – නුවණැත්තා වටහා ගන්නේ

අපි දිබ්බේසු කාමේසු – රතිං සෝ නාධිගච්ඡති
තණ්හක්ඛයරතෝ හෝති – සම්මාසම්බුද්ධසාවකෝ

දෙව්ලොව ඇති කම්සැපයට වත් ඔහු – නැත ආසා ඇති කරගන්නේ
සියලුම තණ්හා ගෙවා දමන්නට – ඔහු ආසා ඇති කරගන්නේ
ඔහු සම්බුදු ශ්‍රාවකයෙකු වන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපගේ භාග්‍යවතුන් වහන්සේ මොනතරම් කරුණාවන්තද? බැන්නේ නෑ. අපහාස කළේ නෑ. නින්දා කළේ නෑ. අපහසුතාවයට පත් කළේ නෑ. ඉතා කරුණාවෙන් තමන් ගත් තීරණයේ ඇති අදූරදර්ශී බව පෙන්වා දුන්නා. අර භික්ෂූන් වහන්සේට ගිහි ජීවිතයට ඇති ආශාව නැතිවෙලා ගියා. එපමණකුත් නොවෙයි. සෝවාන් ඵලයටත් පත්වුණා. හැමෝගෙම ජීවිතයට ඒ උතුම් අවවාද තුළින් යහපත උදා වුණා.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

    තවත් මෙවැනි ලස්සන කථා කියවන්න කැමති නම් පිවිසෙන්න >>