අලුත් සහල් මංගල්‍යයේ කටයුතු සාර්ථකව අවසන් කෙරේ
නමෝ බුද්ධාය!
අප මාතෘ භූමියටත් සකල ශ්‍රී ලංකාවාසී ජනතාවටත් සෞභාග්‍යයෙන් පිරි හෙට දිනකට තුණුරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සුපිහිටි සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාවේදී වාර්ෂිකව සිදු කරනු ලබන
අලුත් සහල් මංගල්‍යය
දෙවන වරටත් මෙම වර්ෂයේ මාර්තු මස 12, 13 යන දිනයන්හි පුරාණ හෙළ චාරිත්‍රානුකූලව පවත්වනු ලැබුවා. 12 වන දින හිමිදිරි උදෑසන අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඇතුලු ගෞරවනීය මහා සංඝ රත්නය අතින් මංගල සහල් පාත්‍රා පූජා කරන්නට යෙදුනා. ඉන් අනතුරුව එම දවස පුරාම දිවයිනේ නන් දෙසින් පැමිණි සැදැහැවත් ගොවි පින්වතුන් රන් දහඩිය වපුරා, නීල කෙත් අස්වද්දමින්, නෙලූ රන්වන් අස්වැන්නේ අගසස්, තුන් ලොවේ අමා කෙත අස්වැද්දූ අප භාග්‍යවතුන් වහන්සේගේ අපරිමිත ගුණස්කන්ධය අභියස සැදැහෙන් පූජා කළා.
මෙවර බොහෝ දෙනෙක් තම ගොවිතැන් බත් කටයුතු වසවිස භාවිතයෙන් තොරව උතුම් සීලයෙහි පිහිටා සිදුකොට තිබීම විශේෂත්වයක්. කිසිදු සත්ව ඝාතනයක් සිදු නොකොට පරිසරයටද විස එකතු නොකොට ධාර්මිකව, බොහෝ දුක් මහන්සි වී සපයා ගත් තම අස්වැන්නේ පළමු කොටස මේ අයුරින් මහත් උත්සවාකාරයෙන් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන්නට ලැබීම ගැන ඔවුන්ගේ සිත් තුළ මහත් සතුටක් ඇතිකළා.
පසුවදා, එනම් 13 වන දින උදෑසන නැවුම් සහලින් සකස් කළ කිරි ආහාර පාත්‍රා සිය ගණනක් විශේෂ ආරාධිත අමුත්න්ගේ ද සහභාගීත්වයෙන් සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාවේදී අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසාත් අග්‍රශ්‍රාවක සාරිපුත්ත, මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ ආදී මහා සංඝරත්නය උදෙසාත් ගෞතම බුදු සසුනේ දියුණුව කැමති ආර්ය ශ්‍රාවක වූ ඝටීකාර මහා බ්රහ්මරාජයා, සක්දෙවිඳුන්, සතරවරම් දෙවිවරුන් ප්‍රධාන දේව මණ්ඩලය උදෙසාත් පූජා කරන්නට යෙදුනා.
ඉන් අනතුරුව වැඩමවා වදාළ සියක් නමකට අධික මහා සංඝරත්නය උදෙසා අලුත් සහල් වලින් පිසූ කිරිබත් දානය පිළිගන්වන්නට යෙදුනා. අවසානයේ මෙම පින්කම උදෙසා දායක වූ සියලු දෙනාට පින් අනුමෝදන් කොට සෙත් පිරිත් සජ්ඣායනයක් ද සිදු කෙරුනා.
මහා සංඝගත දක්ෂිණාවෙන් අනතුරුව මෙම උතුම් පින්කමට සහභාගී වූ ගෞතම බුදු සමිඳුන්ගේ සසුන් කෙතෙහි සැදැහැ බිජු වපුරා පුණ්‍ය අස්වනු නෙළාගත් පැමිණ සිටි පන්දහසකට අධික වූ සැදැහැවතුන් ද අලුත් සහලින් සැකසූ ආහාර පාන මහත් සතුටකින් යුතුව භුක්ති වින්දා.
මෙම උතුම් පින්කමේදී පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් බොහෝ දෙනාගේ දැනගැනීම පිණිස ආර්ය චාරිත්‍රානුකූලව අස්වැන්නේ පළමු කොටස වෙන්කරගන්නා ආකාරය ගැන මෙසේ පපහදා දුන්නා.
“අලුත් සහල් මංගල්‍යෙය්දී භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා කිරීමට සහල් වෙන් කරගත යුත්තේ කුඹුරේදීමයි. ගොයම් කපා වී වෙන් කරගැනීමෙන් අනතුරුව එම වී වලින් යම් ප්‍රමාණයක කොටසක් විශේෂ භාජනයකට ඉතිපි සෝ භගවා ගාථාව සජ්ඣායනා කරමින් බුදුරජාණන් වහන්සේ උදෙසා වෙන්කරගත යුතුයි. එසේ වෙන් කරගත් සහල් තම නිවසේ විශේෂ ස්ථානයක තැන්පත් කොට තබා අලුත් සහල් මංගල්‍යය පැවැත්වෙන දිනය ආසන්න වෙද්දී එම වී කොටා සහල් බවට පත්කරගෙන සිලි සිලි බෑග් වල නොදා විශේෂ බඳුනක දමා සුදු පිරුවටයකින් වසාගෙන මහත් ගෞරවයකින් යුතුවයි අලුත් සහල් මංගල්‍යය වෙනුවෙන් එම සහල් රැගෙන ආ යුත්තේ. මේ කරුණ මතක තබාගැනීමෙන් ඉදිරි වර්ෂ වලදී පෙර රජදරුවන්ගේ කාලයේ පැවති ආකාරයට ම ආර්ය චාරිත්‍රානුකූලව මෙම අලුත් සහල් මංගල්‍යය පැවැත්වීමේ හැකියාව අපට ලැබෙනවා”
මෙම අලුත් සහල් මංගල්‍යයේ කටයුතු සාර්ථක කරගැනීම සඳහා බොහෝ දෙනෙකුගේ උදව් උපකාර ලැබුනා. විශේෂයෙන් ම දිවයින පුරා පිහිටි මහමෙව්නාව භාවනා අසපු ශාඛා වලට සම්බන්ධ දායක පින්වතුන් මෙන්ම පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ උපස්ථාන කමිටුවත් යොවුන් බෝධිඥාන සභාවත් මෙම පින්කම සඳහා බොහෝ වෙහෙස මහන්සි වුනා. පැමිණෙන සැදැහැවතුන්ට දන්සැල් ලබාදුන්නා. තාවතිංස යාත්‍රා සංවිධානය මගින් දේශීය වී වර්ග ප්රදර්ශයනයක්ද බෝතල් කල පානීය ජලය දන්සැලක් ද මෙහිදී පවත්වනු ලැබුවා. ඒ සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිස ම මේ සියලු පින් හේතු වාසනා වේවා!
මෙම උතුම් පුණ්‍ය කර්මයෙන් ජනිත වූ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ ද මනුෂ්යෙයා්ද සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!
තෙරුවන් සරණයි!
පෙර සූදානම
අලුත් සහල් පූජා කිරීම
දේශීය වී ප්‍රදර්ශනය
ක්ෂීරපායාස බුද්ධ පූජාව, දේව දානය, මහා සංඝගත දක්ෂිණාව සහ උපාසක දානය
අලුත් සහල් මංගල්‍යයේ කටයුතු සාර්ථකව අවසන් කෙරේ aluth sahal mangalyaya – 2016-03-13