[Image Credits – Mr. Amila Tennakoon]
නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් – 27
ජයසිරි මහ බෝධිය ආරක්ෂා කරන්නට පිරිස් බලය ඇති කළේ මෙහෙමයි
එක් දිනක් ලංකා නමැති විලෙහි ජනයා නමැති කුමුදුමල් වනය විකසිත කරවමින් වැඩ වසන අපගේ මිහිඳු මහරහතන් වහන්සේ නමැති පුන්සඳ මඬලින් බබළන ගගන තලය වන් මහමෙව්නා උයනට දෙවනපෑතිස් මහරජ්ජුරුවෝ සැපත් වුණා. සැපත්ව අපගේ ශ්‍රමණේන්ද්‍රයන් වහන්සේට වන්දනා කළා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ ලක්දිවට වැඩමවා ගෙන එද්දී ආ සියලු දෙනාට නිසි පරිදි තානාන්තර – ගම්වර ආදිය ප්‍රදානය කළ බවත් දන්වා සිටියා. එකත්පස්ව හිඳ ගත්තා. එකත්පස්ව හුන් දෙවනපෑතිස් රජ්ජුරුවෝ අප මිහිඳු මාහිමියන් වහන්සේගෙන් මේ කරුණ ඇසුවා.
“ස්වාමීනී, බෝධිගුත්ත කුමාරයාටත්, සුමිත්ත කුමාරයාටත් මහා ලේකම් තනතුරු ලබා දී ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවත් පැවරුවා. ස්වාමීනී, මේ උතුම් රාජකාරිය නොකඩවා කිරීම පිණිස මේ දෙන්නාගේ වංශ පරම්පරාව මේ ලංකාද්වීපයේ පිහිටියේ ද?”
“මහ රජ්ජුරුවෙනි, ඒ දෙන්නාගේ වංශය පිහිටියා. නමුත් තවම ඒ වංශ පරම්පරාව මුල් බැස ගෙන නම් නෑ.”
“අනේ ස්වාමීනී, ඔවුන්ගේ ඒ වංශ පරම්පරාව කවරදාක නම් මේ පොළෝ තලේ මුල් බැස ගනීවිද?”
“මහ රජ්ජුරුවෙනි, යම් දවසක ඔය දෙන්නා තමුන්ගේ දරු මුණුබුරනුත් කැටුව ඇවිත් ශ්‍රී මහා බෝධීන් වහන්සේට ආරක්ෂා සංවිධානත්, පුද පෙරහැරත් පවත්වනවා නම්, අන්න එදාට ඔවුන්ගේ වංශ පරම්පරාව මුල් බැස ගන්නවා.”
අපගේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් වදාළ ඒ වචනය ඇසූ දෙවනපෑතිස් රජ්ජුරුවෝ මහත් සතුටට පත් වුණා.
“ඉතින් ස්වාමීනී, ඔවුන්ගේ වංශයට ගැළපෙන කුල ස්ත්‍රීන් මං සොයා ගන්නේ කොහෙන්ද?”
“මහ රජ්ජුරුවෙනි, ඔය දෙන්නාම දන්නවා තමුන්ගේ කුල වංශයට පෑහෙන දූවරුන් තෝරාගන්ට”
එතකොට දෙවනපෑතිස් රජ්ජුරුවෝ තම මාලිගාවට ගිහින් මහ බෝ පුද පෙරහැර භාර ඒ ලේකම්වරු දෙන්නාව කැඳෙව්වා. “මිත්‍රවරුනි, තොපගේ වංශ පරම්පරාව මින් මතුවටත් පවත්වන්ට ඕනෑ හොඳේ” කියා පැවසුවා.
එතකොට කුමාරවරු දෙන්නා මෙහෙම කිව්වා. “දේවයන් වහන්ස, ඔය කියන්නේ ඔබතුමා අපට පැවරූ රාජකාරිය දරු මුණුබුරන්ටත් දායාද කරන්ට කියා නොවැ. එයට අපගේ ශාක්‍ය වංශයට ගැළපෙන වංශවත් කුල කුමාරිකාවන් ඕනෑ. දේවයන් වහන්ස, අප මහා තෙරණින් වහන්සේ මෙහි වැඩමවද්දී ඒ සමඟ මෙහි ආ කුල කුමාරිකාවන් නම් අපට දකින්ට ලැබෙනවා.”
එතකොට රජ්ජුරුවෝ බෙහෙවින් සතුටට පත් වුණා. ඒ කුල කුමරියන් ආවාහ කර ගැනීම පිණිස වස්ත්‍රාභරණත් ලබා දුන්නා.
ඒ වෙද්දී සංඝමිත්තා මහා තෙරණින් වහන්සේ වැඩ වසන හත්ථාල්හක මෙහෙණවරෙහි සිටින, මෞර්ය නමැති ශාක්‍ය වංශයේ උපන් බෝධිමිත්තා තෙරණියගේ බාල නැඟණිය වන සුනන්දා නමැති සාමණේරියත් එහි සිටියා. එතකොට බෝධිගුත්ත කුමාරයා එහි ගොස් සුනන්දාව සිවුරු හරවා සුදුවත් හන්දවා සර්වාභරණයෙන් සැරසෙව්වා. ඈ විසූ හත්ථාල්හක මෙහෙණවරෙහි සිට තමන්ගේ ප්‍රාසාදය තෙක් මාර්ගය පිරිසිදු කෙරෙව්වා. කෙසෙල් තොරණ බන්දවා, පුන්කළස්, මල් මාලාදියෙන් සරසවා මහා පෙරහැරින් එම ප්‍රාසාදයට කැන්දන් ආවා.
සුමිත්ත කුමාරයාත් තමන්ගේ මෑණියන්ට මිණිබිරි වූ කලින් දඹදිව උදේනියේ වේදිස නුවර වාසය කළ දැන් හත්ථාල්හක මෙහෙණවරෙහි පැවිදි බව පතා සිටින සුමනා කුමාරිකාවත් සුනන්දාව සෙයින්ම සර්වාභරණයෙන් සරසවා මහා පෙරහරින් තම ප්‍රාසාදයට කැන්දාගෙන ආවා.
බෝධිගුත්ත කුමාරයා නිසා සුනන්දා දේවියට මහින්ද විධුරින්ද නමින් පින්වත් පුත් කුමාරවරු දෙදෙනෙක් ලැබුණා. සුමිත්ත කුමාරයා නිසා සුමනා දේවියටත් කස්සප, සංඝමිත්ත නමින් පින්වත් පුත් කුමාරවරු දෙදෙනෙක් ලැබුණා.
දවසක් දෙවනපෑතිස් රඡ්ජුරුවෝ මේ සහෝදර කුමාරවරු සතර දෙනා මාලිගයට කැඳෙව්වා. ”හා…! මේ කුමාරවරු විශිෂ්ට වූ උත්පත්ති ඇති අය නොවැ! වෙනත් වංශයක් හා මිශ්‍ර නොවූ අසම්භින්න පරපුරේ ශාක්‍ය වංශික පුත්‍රයෝ නොවැ! ශ්‍රී මහා බෝධීන් වහන්සේට රැකවල්, පුද පෙරහැර පවත්වන්ට අතිශයින්ම සුදුස්සෝ නොවැ! ඉතින් අපි මේ ඇත්තන්ටත් තානාන්තර දෙන්ට ඕනෑ” කියා අමාත්‍යවරුන් සමඟ මෙය සාකච්ඡා කළා.
ඒ කුමාරවරුන්ගෙන් වැඩිමල් මහින්ද කුමාරයාට “චුල්ලජයමහලේඛක” හෙවත් උපජයමහලේකම් තනතුර දුන්නා. ඊළඟට වැඩිමහල් කස්සප කුමාරයාට “පෙරහැර මහා සිටාණ” තනතුර දුන්නා. විධුරින්ද කුමාරයාට “ලංකා පරිශුද්ධ නායක” යන තනතුර දුන්නා. සංඝමිත්ත කුමාරයාට “උපසිටාණ” තනතුර දුන්නා. ඒ තානාන්තරවලට නිසි ගම්වරත් ප්‍රදානය කොට ඔවුන් සතුටු කළා.
ඊට පස්සේ රජ්ජුරුවෝ අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ සමඟ සාකච්ඡා කොට “ශ්‍රී මහා බෝධීන් වහන්සේට මේ මේ ආකාරයෙන් රැකවල් පුද පෙරහැර පවත්වන්ට ඕනෑ” කියා චාරිත්‍ර විධීන් ඇති කළා. රජ්ජුරුවෝ “මෙය තෙපි පරිහරණය කරව්” කියා බෝධිගුත්ත – සුමිත්ත කුමාරවරුන්ට පවරා දුන්නා. අවුරුද්දක් පාසා ශ්‍රී මහා බෝධීන් වහන්සේට පුද පෙරහැර පවත්වන ජනයා රැස් කරවා රාජ්‍යයකට සලකන සෙයින් ශ්‍රී මහා බෝධීන් වහන්සේට ගරු සැලකිලි පූජා පවත්වා මහා ලේකම්වරු දෙදෙනා ලවා ශ්‍රී මහා බෝධීන් වහන්සේට අභිෂේක දෙන්ට සැලැස්සුවා.
(මහා බෝධිවංශයෙනි)
(උපුටා ගැනීම :- දිවයින පුවත්පත)