පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017 අප්‍රේල් මස 10 වෙනි දින (බක් පුන් පොහෝදා) සංයුත්ත නිකායේ (2) අචේල කස්සප සූත්‍රය විස්තර කරමින් පවත්වන්නට යෙදුණු සුමධුර ධර්ම දේශනය…
ශ්රද්ධාවන්ත පින්වත්නි,
අද බක් පුර පසළොස්වක් පොහෝ දවසේ අපි සියලු දෙනා බලාපොරොත්තු වන්නේ අපගේ ශාස්තෘන් වහන්සේ වන ඒ භාග්‍යවත් අරහත් සම්මාසම්බුදු රජාණන් වහන්සේ විසින්ව වදාරණ ලද උතුම් ධර්මය ශ්‍රවණය කරන්ටයි. බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච යුගයේ මිනිස්සුන්ගේ සිත්වල ඉතා සොඳුරු හැඟීම් ඇති වුනා. ඒ තමයි “කුසල් මොනවාද ? සත්‍ය කුමක් ද?” කියලා මිනිස්සු ඒ කාලේ හොයාගෙන ගියා. අද කාලේ හොයන්නේ කුණුරොඩු මොනවා ද කියලා. ඒ කාලේ හෙව්වේ සත්‍යය කුමක්ද (කිං සච්චගවේසි), කුසල් මොනවා ද (කිං කුසලගවේසී) කියලයි.
ඒ කුසල් මොනවා ද (කිං කුසල ගවේසී) සත්‍යය කුමක් ද කියලා හොයපු යුගයේ තමයි අපගේ ශාස්තෘන් වහන්සේ පහළ වුනේ. ඒ කාලේ මනුෂ්‍යයන්ට ඉතාම පහසුවෙන් වටහාගැනීමේ පහසුව තිබුණා. ඒ කාලේ මිනිසුන් අහපු දේවල් ඇසීම් මාත්‍රයකින් අවසන් වුනේ නෑ. ඒ කියන්නේ ඒ අහන දේවල් ඔවුන්ගේ සිත් තුළට කිඳා බැස්සා. ඊළඟට ඒ අහන දේවල් ඔවුන්ට අවබෝධ වුණා. ඒ අහන දේවල්වලින් ඔවුන් ප්‍රතිඵල නෙළාගත්තා. ඒ යුගයේ නානාප්‍රකාර මිනිස්සු හිටියා. නමුත් ඒ මනුෂ්‍යන් තුළ අර අපි කියපු “මේ සත්‍යය කුමක් ද? කුසල් කුමක් ද?” කියලා අවංකව සොයන අදහස පහනක් දැල්වෙනවා වගේ ඔවුන්ගේ සිත් තුළ දැල්වෙමින් තිබුනා. එබඳු මිනිස්සුන්ට තමයි අපේ ශාස්තෘන් වහන්සේ ධර්මය දේශනා කළේ. අද අපි ඒ එක් දහමක් අසන්නටයි සූදානම් වෙන්නේ. මේ දේශනාවේ නම අචේල කස්සප සූත්‍රය. මේ දේශනාව තියෙන්නේ සංයුත්ත නිකායේ දෙවෙනි කොටසේ. කස්සප කියන වචනය සාමාන්‍යයෙන් යොදන්නේ බ්‍රාහ්මණයන්ට. ඒ කියන්නේ ගෝත්‍රයක් තියෙනවා කාශ්‍යප කියලා.. එතකොට ඒ කාශ්‍යප ගෝත්‍රයෙන් ආපු තවුසෙක් තමයි අචේල කස්සප කියන්නේ…
Leave A Comment