රාගයෙන් මත් වූ මාළුවා ගැන කථාව
පින්වතුනේ, පින්වත් දරුවනේ, කෙලෙස් නිසා තමයි සියලුම සත්වයෝ දුකට වැටී සිටින්නේ. ඒ කෙලෙස් අතර රාගය යනු භයානකම කිලුටක්. රාගයෙන් සිතක් කිළිටි වී ගිය විට ඔහුට හොඳ නරක, යහපත අයහපත මොකොවත් හඳුනාගන්ට බැරිව යනවා. ඒ ගැන කියවෙන මච්ඡ නම් ජාතක කතාවයි දැන් කියවන්ට ලැබෙන්නේ.
ඒ දිනවල අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනයේ. සැවැත් නුවර ම සැදැහැවත් ගෘහපතියෙකුට පැවිදි වෙන්ට ආසා හිතුනා. තම බිරිඳගෙන් ඉතාමත් අමාරුවෙන් අවසර ගෙන ඔහු පැවිදි වුනා. මොහු පිණ්ඩපාතේ වැඩිය වෙලාවට දානෙ පාත්තරෙත් අරගෙන වරින් වර සිය පැරණි බිරිඳගේ ගෙදර යනවා. එතකොට ඈ මිහිරි රසට මොකාක්හරි වෑඤ්ජනයක් හදලා දානෙ දෙනවා. බිරිඳ මෙහෙම කල්පනා කළා.
“මේ මොන විකාරයක් ද…? මට දැන් මිනිහෙකුත් නෑ. මමත් අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඒ මදිවට දානෙත් හදාපන්කෝ….” කියලා ඈ පසුවදා දානෙ හැදුවේ නෑ. අසනීපෙන් වගේ හිටියා.
අර භික්ෂුව දානෙ පාත්තරෙත් අරන් ගෙදර වැඩියා. බිරිඳ කෙඳිරි ගගා අඬන්ට පටන් ගත්තා.
“අනේ…. මට… හරි අමාරුයි… අයියෝ…. මට දැන් වෙන මිනිහෙක් එක්ක යන්ට හිතිලයි තියෙන්නේ. එතකොට මට ඒ මිනිහාට රසට උයාදෙන්ට පුළුවනි. ආදරෙන් උපස්ථාන කරන්ට පුළුවනි. මිහිරි කවි කියන්ටත් පුළුවනි… දැන් මේ මොකක්ද… දානෙ හද හදා දීපන්කෝ….”
එතකොට භික්ෂුව ගේ සිත එක්වරම වෙනස් වුනා. ‘හපොයි… හපොයි… හරි වැඬේ නොවැ වෙන්ට යන්නේ. මෙයා වෙන මිනිහෙක් එක්ක ගියොත්… ඉඳල හිටල කටට රහට කන්ට තියෙන එකත් නැති වෙනවා” සිතලා මෙහෙම කිව්වා.
“නෑ… නෑ… ඔහොම දුක් ගන්ට කාරි නෑ. මට ඔයාගේ දුක තේරෙනවා. වෙන මිනිස්සු මොකොටද? මං ඉන්නේ…. හොඳා…. එහෙනම් මං ගිහින් ආචාර්යයන් වහන්සේට සිව්රු පිරිකර භාර දීලා එන්නම්…. ඔයා සිත හදාගෙන සතුටින් ඉන්ටකෝ….” කියලා ඉක්මණින් ම ආචාර්යයන් වහන්සේ බැහැදැක තමන් සිව්රු අරින්ට තීරණය කළ බව කියා හිටියා. එතකොට මහතෙරුන්නාන්සේ මේ භික්ෂුව කැඳවාගෙන භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්ට ගියා. භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුවගෙන් කරුණු විමසා වදාළා.
“හැබෑද භික්ෂුව… සිවුරු හරින්ට හිතුවද?” “එහෙමයි භාග්‍යවතුන් වහන්ස, ධර්මය මෙනෙහි කරගන්ට අමාරුයි” “ඒ මොකෝ…. හිතට වද දෙන කාරණය මොකක්ද?” “අනේ ස්වාමීනී… අපේ ගෙදර උන්දෑ ටිකක් අසනීප ගතියෙන් වාගේ. ඈ තමයි මට කටට රහට උයලා දුන්නේ… ඈව අත්හරින්ට අමාරුයි”
“භික්ෂුව…. ඔය ස්ත්‍රිය ඔබට යහපත සලසන එකියක් නොවෙයි. පෙර ආත්මෙත් ඔය ස්ත්‍රිය නිසා ම ඔබ මරණයට පත්වෙන්ට ගියා. මම යි ඔබව එදා බේරගත්තේ”
එතකොට භික්ෂූන් වහන්සේලාට ඒ අතීත විස්තරය දැනගන්ට කැමැත්ත ඇතිවුනා. එය කියා දෙන ලෙස භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ මච්ඡ ජාතකය වදාළා.මච්ඡ කියන්නේ පාලි භාෂාවෙන් මාළුවාට කියන නම.
“පින්වත් මහණෙනි, ගොඩාක් ඈත කාලෙක බරණැස් පුරේ බ්‍රහ්මදත්ත නමින් රජ්ජුරු කෙනෙක් වාසය කළා. ඒ කාලේ බෝධිසත්වයෝ ඒ රජ්ජුරුවන්ගේ පුරෝහිත බ්‍රාහ්මණයා වෙලා හිටියේ.
දවසක් මාළු අල්ලන මිනිස්සු ගංගා නදියේ දැලක් එලුවා. ඒ වෙද්දි විශාල මාළුවෙක් මාළුච්චියක් සමග ප්‍රේමයෙන් වෙලී රාගයෙන් මත් වී ජලයේ සෙල්ලම් කරමින් දැල පැත්තට පීනා ආවා. ඉස්සර වෙලා වතුරේ නට නටා ගියේ මාළුච්චියයි. මාළුවා ඈ පස්සෙන් නට නටා ආවා. ඇයට දැලක් අටවා ඇති වග තේරුනා. ඈ දැලට වටෙන් වටෙන් ගියා. රාගයෙන් මත් වෙලා සිටිය මාළුවා එක්වරම දැල ඇතුළට පිහිනා ගියා. ලොකු මාළුවෙක් දැලට රිංගූ බව දැනගත් මාළු අල්ලන්නෝ වහා දැල ඉස්සුවා. විශාල මාළුවෙක්. ඌව නොමරා වැල්ල මතුපිට දැම්මා.
“හනික ගිනි ගොඩක් ගසාපන්… ලොකු උලකුත් ශුද්ධ කරපන්… මේකා උලේ ගසා පුළුස්සා ගෙන කමු” කියලා ගිනි අඟුරු සූදානම් කරන්ට පටන් ගත්තා. නමුත් මාළුවා තාමත් ඉන්නේ මාළුච්චි ගැන සිත සිතා. මාළුවාට මතක් වෙන්නේ ඈව ම යි. ඈ වෙන මාළුවෙක් එක්ක විනෝද වේවි කියලා මහා ඉරිසියාවක් හටගත්තා. මහ හඬින් හඬ හඬා මේ ගාථාව කිව්වා.
“අයියෝ මට සීතල හෝ රස්නේ හෝ
මොක තිබුණත් කමක් නැතේ
දැලේ වෙලී පැටලී ගොස්
මැරී ගියත් කමක් නැතේ
මගේ එකී මාව දමා
වෙනත් එකෙක් එක්ක ගියොත්
අයියෝ මං එය උහුලා ඉන්නෙ කොහොමදෝ…”
කියමින් හඬ හඬා සිටියා. ඒ වෙලාවේ බෝධිසත්වයෝ දාස පිරිසත් සමග ගං තෙරට නාන්ට ඇවිත් සිටියා. බෝධිසත්වයෝ සියුම් ශබ්දයන්ගේ පවා අර්ථ දැනගන්නට දක්ෂව සිටියා. අසාමාන්‍ය වේදනාවකින් කවුදෝ වැලපෙන හඬක් බෝසතුන්ට ඇසුනා. හොඳට ඇහුම්කන් දුන්නා. අනේ… ඒ කෑගසන්නේ මාළුවෙක්. වැල්ලේ වැතිරී මරණයට කැපවී සිටින මාළුවෙක්. අනේ මේ මාළුවා රාගයෙන් මුළා වී ගිය සිතින් මැරුණොත් නිරයේ උපදින්නේ කියලා ඒ මාළුවා ගැන මහා අනුකම්පාවක් හටගත්තා.
බෝධිසත්වයෝ හනික මාළු අල්ලන මිනිස්සු ළඟට ගියා. ‘එම්බා මිනිසුනි, ඔබලා මට එක දවසකටවත් වෑංජනේකට ගන්ට මාළුවෙක් දෙන්නේ නැද්ද?’
“අනේ ස්වාමී…. මොනවද මේ කියන්නේ…. තමුන්නාන්සේට නොදෙන මාළුවෝ ඉන්නවාද… මෙතැනින් කැමති මාළුවෙක් ගන්න”
“එහෙනම්… මට වෙන මාළු නැතුවට කමක් නෑ…. ආන්න අර මාළුවා ඕනෑ”
“හා… හා… ඒකට මක් වෙනවද. අපි පුළුස්සා ගන්ටයි සූදානම් වුනේ…. නමුත් කමක් නෑ. ඌව ගන්ට”
එතකොට බෝධිසත්වයෝ ඉක්මණින් ම ඒ මාළුවාව දෝතට ගත්තා. ගඟට බැස්සා. “අනේ මාළුවෝ…. ඕන්න මං නිසා අද නුඹ යාන්තම් බේරුනා. දැන්වත් ඔයතරම් කෙලෙස් වල පැටලෙන්ට එපා” කියලා ගඟට බැස්සුවා. මාළුවා වරල් ගසාගෙන මහා සතුටින් පීනාගෙන ගියා.
මහණෙනි, එදා මාළුච්චි ම යි මෙදාත් මේ භික්ෂුව ගිහි කාලේ ආවාහ කරගෙන හිටියේ. මහා මාළුවා වෙලා හිටියේ මේ භික්ෂුව. පුරෝහිත බ්‍රාහ්මණයා වෙලා හිටියේ මම යි කියා මේ මච්ඡ ජාතකය වදාළා. මේ දේශනාව ඇසූ ඒ භික්ෂුව සසර ගැන මහත් කළකිරීමට පත්වුනා. භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍යය ධර්මය වදාළා. ඒ භික්ෂුව සෝවාන් ඵලයට පත්වුනා.
සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!සාදු සාදු සාදු!!!
සසරෙහි පැවැත්ම පුදුමාකාරයි.රාගය නිසා අපද නොයෙක් හැලහැප්පීම් වලට බදුන් වෙවී දුක් වෙවී මේ ජීවිතය ගත කරනවා.නමුත් එයින් මිදෙන්නට ශක්තියක් නොමැතිව මහා දුකකට අපද පත්වී අවසන්.
අද අප කෙලෙස් බන්ධනයන්ගේ සිරකරැවන් බවට පත්වෙලා. මේ ගිහි ගෙදර අප දුකටපත් වන්නේ රාගය නිසා බව පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා පවසනතුරැ අප නොදැන සිටියෙමු.
පින්දහම් කර කර මේ කෙලෙස් හුල් කවදා හෝ ගලවා දැමීමට සිතිවිලි පහල වූයේද ධර්මයේ අනුහසින්මය.
අප කෙරෙහි අනුකම්පාවෙන් මේ උතුම් දහම් කරැණු දේශනා කරන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!!තෙරුවන් සරනයි!!!
සාදු සාදු මේ කෙලෙස් වලින් නිදහස් වෙන්න කොච්චර අමාරු දෙයක්ද,ඒ බුදුරජානන් වහන්සෙත් මේ කෙලෙස් මුල් ගලවා දෑන්මනේ අපිටත් මේ දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා නමෝ බුද්ධාය,