“රහතුන්ට පිදීමමයි උතුම්”
පින්වතුනේ, පින්වත් දරුවනේ, සැරියුත් තෙරුන්ගේ පවුලේ උදවිය බ්‍රාහ්මණ වංශිකයන් බවත්, ඔවුන් ඉස්සර සරණ ගියේ වේදය බවත් ඔබ දන්නවා. ඉතින් දවසක් සැරියුත් තෙරුන්ගේ ඤාති සහෝදරයෙක් උන්වහන්සේව බැහැදකින්න ආවා. පිළිසඳර කතාබහේ යෙදුණා. එතකොට සැරියුත් තෙරුන් වහන්සේ ඔහුට මෙහෙම කිව්වා.
“පින්වත් බ්‍රාහ්මණය, අපට කුමක්දෝ වාසනාවක් තියෙනවා. නැත්නම් බුදු කෙනෙක් පහළ වුණ මෙවන් යුගයක අපිත් රජගහ නුවරම උපන්නා නෙව. ඒ නිසානේ අපිට මේ හැම යහපතක්ම උදාවුණේ. ඉතින් මේ ලැබුණු දුර්ලභ අවස්ථාවේ මහන්සි ගන්න ඕන පින් කිරීමටයි. මං හිතන්නේ ඔබත් නිතරම පින් කරනවා ඇති නේද?”
“අනේ ස්වාමීනී, මගේ අදහසත් ඒකමයි. අපේ වේදයේත් පින් කරන හැටි උගන්වනවා නෙව. කොහොම හරි පින් රැස්කරගන්න තමයි මාත් කටයුතු කරන්නේ. මාසයක් ගානේ වරද්දන්නේ නැතුව මං හරකෙක්ව මරණවා. මරලා යාග ගින්නට දාලා පූජා පවත්වනවා.”
“ඉතින් බ්‍රාහ්මණය, ඔබ එවැනි දෙයක් කරලා බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දෙයක්ද?”
“ස්වාමීනී, ඉර්ෂීන්වහන්සේලා නෙව වේදය ලියලා තියෙන්නේ. හප්පා… උන්වහන්සේලාගේ ඤාණය පුදුම සහගතයි. මේ ඉර, හඳ, ගහකොළ, තාරකා හැම දෙයක් ගැනම වේදයේ තියෙනවා නෙව. ඉතින් බ්‍රහ්ම ලෝකයට යන්න තියෙන එකම පාර හැටියටයි ඔය යාග කිරීම වේදයේ උගන්වන්නේ.”
“කවුද ඔබට එහෙම ඉගැන්නුවේ?”
“ඇයි ස්වාමීනී, අපේ ආචාර්ය බ්‍රාහ්මණවරු නෙව අපට මේ වේදයේ විස්තර ඉගැන්නුවේ.”
“පින්වත් බ්‍රාහ්මණය, ඇත්තෙන්ම ඔබ බ්‍රහ්ම ලෝකයට යන මාර්ගය දන්නෙ නෑ. ඔබේ ආචාර්යවරුවත් බඹ ලොවට යන මාර්ගය නම් දන්නෙ නෑ. හැබැයි අපගේ ශාස්තෘන් වහන්සේ නම් ස්ථිරවම බඹලොවට යන මාර්ගය දන්නවා. පින්වත් බ්‍රාහ්මණය, එන්න. මං ඔබව ශාස්තෘන් වහන්සේ ළඟට කැඳවාගෙන යන්නම්. එතැනදි අපි බඹ ලොවට යන මාර්ගය ගැන අසා දැනගනිමු.”
ඊටපස්සේ සාරිපුත්තයන් වහන්සේ මහත් දයානුකම්පාවෙන් යුතුව අර බ්‍රාහ්මණයාව බුදුරජාණන් වහන්සේ ළඟට කැඳවාගෙන ගියා. ගිහින් කතා බස් කළ සියලු තොරතුරු පැවසුවා. එවිට බුදුරජාණන් වහන්සේ බඹලොව යන මාර්ගය වන සතර බ්‍රහ්ම විහරණයන් හෙවත් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන ගුණධර්මයන් දියුණු කරගන්නා ආකාරය පෙන්වා දී මෙය වදාළා.
“පින්වත් බ්‍රාහ්මණය, ඔබ ඔය ගිනි පිදීම සියයක් අවුරුදු දිගටම කළත් බඹලොවට රැගෙන යන්න තරම් එය මහත්ඵල වෙන්නේ නෑ. නමුත් නිකෙලෙස් කෙනෙකුට ඔබ පහන් සිතෙන් යුතුව සුළු දානයක් දුන්නත් එයින් නම් ඔබට බොහෝ යහපතක් උදා කරගන්න පුළුවනි”යි පවසා මෙම ගාථාව වදාළා.
මෙම ගාථාව එම බ්‍රාහ්මණයාට පුදුමාකාර පිහිටක් උපදවා දුන්නා. ඔහු ධර්මය අවබෝධ කළා. සෝතාපන්න ශ්‍රාවකයෙක් වුණා.
යෝ ච වස්සසතං ජන්තු – අග්ගිං පරිචරේ වනේ
ඒකඤ්ච භාවිතත්තානං – මුහුත්තමපි පූජයේ
සා යේව පූජනා සෙය්‍යෝ - යඤ්චේ වස්සසතං හුතංවනයට ගොස් ගින්නක් පිළියෙල කොට – කෙනෙක් යාග කරමින් එහි සිටි විට
සියයක් අවුරුදු ගෙව්වත් එලෙසට – පලයක් නැහැමයි පින් කෙත නැති විට
එනමුදු නිකෙලෙස් ශ්‍රමණවරුන් හට – මොහොතක් හෝ සුළුවෙන් දන් දුන් විට
සියයක් වසරක දානය යට කොට – පින මතුවෙනවා හැමට උතුම් කොට
පින්වතුනේ, පින්වත් දරුවනේ, ඉස්සර බ්‍රාහ්මණයන් හරක්, එළුවන්, කකුළන්, ඌරන්, බැටළුවන් දහස් ගණන් මරා ගින්නට දමා යාග කරනවා. ඊට පස්සේ යාගයෙන් ඉතුරු වූ මස් ඔවුන් ගෙන ගොස් අනුභව කරනවා. මේ සිරිත අවුරුදු දහස් ගණනක් පැවතුණා. ඔවුන් සිතුවේ ඒ තුළින් ඔවුන්ට පින් රැස්වෙන බවයි. බඹලොව උපදින්නට උපකාරී වන බවයි. බුදුරජාණන් වහන්සේ සත්‍යය පහදා දෙන තුරු ඔවුන්ට වැටහී තිබුණේ නෑ.
ඒ කාලෙ පුරෝහිත තනතුර දැරුවේ බ්‍රාහ්මණයන් විසිනුයි. පුරෝහිත කියන්නේ රජුට අනුශාසනා කිරීමේ තනතුරයි. ඉතින් ඔවුන් නොයෙක් අපල තියෙනවා කියමින් රජවරුන් ලවා විශාල යාග කෙරෙව්වා. බුදුරජාණන් වහන්සේ ඒ පරිසරය ධර්මය තුළින්ම වෙනස් කළා. හැමෝටම යහපත උදා කළා. සමහර අවස්ථාවන්හීදී රජවරුන්ට කරුණු කියලා විශාල යාග නවත්වලත් තියෙනවා. බුදු කරුණාව හරිම අසිරිමත්!
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ