“නරක යාළුවන් ලැබුණොත් විනාසයි”

පින්වතුනේ, පින්වත් දරුවනේ, මිනිස් ලොව ඉපදුණ අපට පින තියෙන්නෙ කොයි විදිහටද කියලා තේරුම් ගන්න දැනුමක් නෑ. මේ නිසයි අපි බුද්ධිමත් විය යුත්තේ. එහෙම නැත්නම් පාප මිතුරන් ඇසුර නිසාම අප සතු සියලු වටිනා දේ අහිමි වෙනවා. එවැනි අවාසනාවන්ත ජෝඩුවක් ගැනයි දැන් අපි දැනගන්නේ.

බරණැස් නුවර සිටු පවුලක් හිටියා. ඔවුන්ට කෝටි අසූවක ධනය තිබුණා. එක පුතයි හිටියේ. දෙමව්පියෝ මෙහෙම කල්පනා කළා.

“අපේ දරුවාට අමුතුවෙන් වෙහෙසිලා ඉගෙන ගන්න දෙයක් නෑ. මේ තියෙන ධනය හොඳටෝම ඇති. ඒ නිසා අපි නැටුම් ගැයුම් විතරක් උගන්වමු.”

දෙමව්පියන් වයසට ගියා. තම පුතාට ඒ වගේම නැටුම් දන්න කෙල්ලක් බන්දලා දුන්නා. ඇගේ දෑවැද්දට අසූ කෝටියක් දේපල වස්තුව ලැබුණා. දෙමව්පියන්ගේ මරණයෙන් පස්සේ මේ සියලු ධනයට හිමිකම් කිව්වේ අර තරුණයා.

මොහු ඇත්තෙන්ම හොඳින් ජීවත් වුණා. දිනපතා බරණැස් රජ්ජුරුවන්ගේ සේවයට යනවා.

ඔය නගරයේ බේබද්දන් කල්ලියක් හිටියා. ඔවුන් කරන්නේ බීමට ඇබ්බැහි නොවුණු ධනවතුන් උපක්‍රමශීලීව එයට පෙළඹවීමයි. ඊටපස්සේ ඔහුගේ වියදමින් හොඳට බොනවා.

දිනක් මේ බේබදු කල්ලිය මත්පැන් සූදානම් කළා. කටගැස්මකුත් හැදුවා. අර මහධන සිටුපුත්‍රයා එන මග බලා සිටියා. ඔහු ළං වෙද්දී එක බේබද්දෙක් කෑ ගහලා මෙහෙම කිව්වා.

“පින්වත් සිටුපුත්‍රයන් වහන්ස, සියවසක් සුවසේ ජීවත් වේවා! ඔබ නිසයි අපි මේ තරම් අතිප්‍රණීත දේවල් බොන්නේ…. මෙතරම් රසවත් දේවල් කන්නේ….”

සිටුපුත්‍රයා නැවතුණා. පිටිපස්සෙන් එන උපස්ථායක තරුණයාගෙන් මේ ගැන විමසුවා.

“මේ කොළු ගැටව් මොනවද ඔය මට පින් දිදී බොන්නේ…?”

“භවත් සිටුපුත්‍රය, මේ එක්තරා බීම ජාතියක්. ටිකා….ක් සැරයි. නමුත් මෙයට සමාන වූ සුමිහිරි පානයක් ලොවෙහි වෙන නැත්තේය… එනිසා ඉතා ස්වල්පයක්වත් අපිත් බොමු.”

සමාජය ගැන අවබෝධයක් නැති මේ සිටුපුත්‍රයා නුවණ පාවිච්චි කළේ නෑ. ඔවුන්ගේ වර්ණනාවට හසුවුණා. ඔවුන් අතර වීරයෙක් වුණා. එදා ඒ පිරිසට එකතු වුණා. ටිකක් බිව්වා. විනෝද වුණා. මෙයට හිත ගියා. ටිකෙන් ටික සිටුපුත්‍රයාගේ යහළුවන් බවට පත්වුණේ මේ බේබදු කල්ලියයි.

සිටුපුත්‍රයා රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වුණා. ධනය වියදම් කරමින් බොන්න පටන් ගත්තා. මධුපානෝත්සව සංවිධානය කළා.

“සිටුතුමනි, ඊයේ ආපු නළඟනට වඩා හරී ලස්සන එකියක් ඉන්නවා. ටිකක් ගාන සැරයි. හැබැයි නටනවා විදුලිය වගේ. පදමට බීපු වෙලාවට ඒකි නටද්දි අපි වෙනම ලෝකෙකට යනවා. ගෙන්න ගමුද?”

“සිටුතුමනි, මං දන්න වාදකයෙක් ඉන්නවා. සර්පිනාව ගහනවා හිතන්න බැරි ලස්සනයි. ඩොල්ක ගහනවා ඇඟිලි වැඩකරන්නේ ‘සිටි සිටි’ ගාලා. පේන්නෙ නෑ. සද්දෙ කොච්චර ලස්සනද කියන්නේ පදමට වැදුණාම පදේට අනුව අපිත් ඉස්සෙනවා පාත්වෙනවා. හැබැයි ගාන සැරයි.”

“සිටුතුමනි, දාදු කෙළින්ඩ ගිය වතාවෙ ආපු කට්ටිය දක්ෂ නෑ. එහා නගරෙන් කණ්ඩායමක් ගෙන්නමු. හරි තරඟයක් තිබ්බොත් තමයි ඒකෙ රස්නෙ තියෙන්නෙ. එතකොටයි අපිත් රත් වෙන්නේ… හැබැයි ගාන සැරයි.”

“ඒකට මක්වෙනවද? උඹලා මිල මුදලින් කරදර වෙන්න එපා. ඒවා මං බලාගන්නම්. ඕන ගාණක් ගියාපුවේ… ඔය කියාපු හැමදේම අරන් වරෙන්.”

සුළු කලයි ගියේ. මහාධන සිටුපුත්‍රයාගේ කෝටි අසූවක ධනය ගින්නට හසුවූ කලක මෙන් නැත්තට නැතිවුණා.

“සිටුතුමනි, හරි වැඬේ වුණේ. ධනය ඉවරයි!”

“එහෙමද?…… එහෙනම් අපි බිරිඳගේ ධනය වත් ගමු” කියලා ඈ සතු සියලු ඉඩකඩම් දේපල වස්තුව වික්කා. කෑමටයි, බීමටයි, උත්සවවලටයි වියදම් කළා. අන්තිමේදී තමන් ඉන්න නිවසත් වික්කා. ඉතුරු වුණේ හැඳිවත විතරයි. දැන් අර යාළුවො කවුරුවත් නෑ. හැමෝම අහක බලාගෙන යනවා. කිසිකෙනෙක් සතයක්වත් ණයට දෙන්නෙ නෑ. ගණන් ගන්නෙ නෑ. අන්තිමේදි අගුපිල්වල නිදාගන්න පුරුදු වුණා. තැටි කබලක් අරගෙන සිඟමනේ යන්න සිදුවුණා. මහපාරෙ ජීවත් වුණා.

දිනක් අනුන්ගෙන් ඉඳුල් බත් ඉල්ලා ගන්නා මේ දෙදෙනා දුටු භාග්‍යවතුන් වහන්සේට සිනහ පහළ වුණා. ආනන්ද තෙරුන් වහන්සේ එයට කරුණු විමසුවා.

“පින්වත් ආනන්ද, දැක්කා නේද අර දෙන්නට ගිය කලදසාව? පාපමිත්‍ර ආශ්‍රයේ විපාක තමයි. සුරාසූදුවේ විපාක තමයි. සල්ලාලකමේ විපාක තමයි.

ඔය සිටුවරයා තමන්ගේ තරුණ අවදියේ ව්‍යාපාරයක් පටන්ගත්තා නම් බරණැස් නුවර අංක එකේ සිටුවරයා වෙන්න පින තිබ්බා. ඒ වයසේම පැවිදි වුණා නම් මෙලහකට රහතන් වහන්සේ නමක්. ඒ බිරිඳ පැවිදි වුණා නම් දැනටමත් අනාගාමී වෙලා. ඒ පින නැති කරගත්තා.

ඉතින් මධ්‍යම වයසේදී ව්‍යාපාරයක් පටන්ගත්තා නම් බරණැස් නුවර දෙවෙනි සිටුවරයා වෙනවා. මධ්‍යම වයසෙදි පැවිදි වුණා නම් අනාගාමී වෙනවා. බිරිඳ පැවිදි වුණා නම් සකදාගාමී වෙනවා.

අවසාන කාලෙවත් පොඞ්ඩක් කල්පනා කරන්න තිබ්බා. එහෙම වත් ව්‍යාපාරයක් පටන් ගත්තා නම් තුන්වෙනි සිටුවරයා වෙනවා. පැවිදි වුණා නම්
සකදාගාමී වෙනවා. බිරිඳ සෝතාපන්න වෙනවා.

දැන් බලන්න… ඒ හැම පිනක්ම නැතිවෙලා තියෙන්නේ. ලෞකික, ලෝකෝත්තර සියලු යහපත අහිමි වෙලා තියෙන්නේ. දැන් ඉන්නේ මාළු නැති වියළී ගිය මඩ වලක් දෙස බලා සිටින නාකි කොකෙක් වගේ.”

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ අප කාගෙත් සිහි නුවණ උපදවන මෙම ගාථා රත්නයන් වදාළා.

අචරිත්වා බ්‍රහ්මචරියං – අලද්ධා යොබ්බනේ ධනං
ජිණ්ණකොඤ්චා’ව ඣායන්ති – ඛීණමච්ඡේව පල්ලලේ

තරුණ මැදුම් හෝ මහලු වියෙදි හෝ – නිවන් මගෙහි හැසිරුණෙ නැත්නම්
යොවුන් වියේ නැණ වීරිය යොදමින් – ධනයක් හෝ ඉපදුවෙ නැත්නම්
මසුන් නොමැති මඩ වගුරක් අභියස – සිටින දිරාගිය කොකෙකු ලෙසින්
ඔහුද ඈත බලමින් ඉන්නේ

අචරිත්වා බ්‍රහ්මචරියං – අලද්ධා යොබ්බනේ ධනං
සෙන්ති චාපා’තිඛිත්තා’ව – පුරාණානි අනුත්ථුනං

තරුණ මැදුම් හෝ මහලු වියෙදි හෝ – නිවන් මගෙහි හැසිරුණෙ නැත්නම්
යොවුන් වියේ නැණ වීරිය යොදමින් – ධනයක් හෝ ඉපදුවෙ නැත්නම්
අතීතයේ කා බී තුටු වූ හැටි – සිතමින් හේ පසුතැවෙමින්නේ
වැටුණු තැනම දිරමින් පස් වී යන – ඊතලයක් සේ වැනසෙන්නේ


පින්වතුනේ, පින්වත් දරුවනේ, යාළුවන්ගේ හැටි දැක්කා නේද? තමන්ගේ වාසියට යාළුකම් ඇතිකරගන්න අය කොයිතරම් ඉන්නවද? ඔය කොයි යාළුවත් ඉන්නේ අපේ අතේ සල්ලි තියෙනකම් විතරයි. අපිව පිළිගන්නකම් විතරයි. මිල මුදලෙන් හිඟවුණාම, පිළිගන්න කවුරුත් නැතිවුණාම ඔය කවුරුවත්ම අපට නැහැ. අඳුනන් නැහැ වගේ අහක බලාගෙන යාවි. ඒ නිසා තමාගේ යහපත සළසා ගන්න කැමති කෙනා මුල් තැන දෙන්න ඕන තමාගේ අනාගතයට උපකාරී වන යහපත් දෙයටයි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ