“පින්වත් මහණෙනි, මේ ලෝකයෙහි උපදින එකම පුද්ගලයෙක් ඉන්නවා. බොහෝ ජනයා හට හිතසුව පිණිස, බොහෝ ජනයාගේ සැපය පිණිස, ලෝකයට අනුකම්පාව පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත පිණිසම, හිතසුව පිණිසම, සැපය පිණිසමයි උපදින්නේ. ඒ එකම පුද්ගලයා වනාහී කවරහුද? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේය. පින්වත් මහණෙනි, මොහු වනාහී බොහෝ ජනයා හට හිතසුව පිණිස, බොහෝ ජනයාගේ සැපය පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත පිණිස ම හිතසුව පිණිස ම සැපය පිණිස මේ ලෝකයෙහි උපදිනවා නම් උපදින එකම පුද්ගලයාය.”

(අංගුත්තර නිකාය – ඒකපුග්ගල වර්ගය)

ඒ තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට පහළ වන්නේ ඉතාමත් කලාතුරකිනි. කෙතරම් කලාතුරකින් ද යත්, ගෙවුණු කල්ප සියය ඇතුලත බුදුවරයන් වහන්සේලා සත් නමක් පමණක් ම මේ ලෝකයෙහි පහළ වූ සේක. කල්පයක් යනු අති දීර්ඝ කාලපරිච්ඡේදයකට කියන නමකි. මෙම දෙසුම කියවීමෙන් ඔබට කල්පයක් යනු කෙතරම් දීර්ඝ කාලයක් දැයි සිතාගත හැකිවනු ඇත. මේ සත් බුදුරජාණන් වහන්සේලා ගැන සියලු තොරතුරු සඳහන් වන්නේ දීඝ නිකායෙහි ඇතුලත් මහාපදාන සූත්‍රයෙහි ය. තවද, ආටානාටිය සූත්‍රයෙහි ආටානාටිය පිරිත ආරම්භ වන්නේ ද සත් බුදුරජාණන් වහන්සේලා නමස්කාර කිරීමෙනි. මේ සත් බුදුරජාණන් වහන්සේලා වන්දනා කිරීම වර්තමානයෙහි ආරම්භ කරන ලද්දේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි. ඒ සඳහා අගනා කව්පෙළක් උන්වහන්සේ රචනා කොට ඇත. මෙහි උන්වහන්සේගේ හඬින් ම සිදුකෙරෙන සත්බුදු වන්දනාවේ වීඩියෝ පටයක් සහ ඕඩියෝ පටයක් ද ඔබගේ පහසුව පිණිස භාගත කරගැනීම සඳහා pdf පිටපතක් ද අප විසින් පහතින් ඇතුලත් කොට තිබේ.

සත් බුදු වන්දනාවේ PDF පිටපත මෙතනින් භාගත කරගන්න