මෙය ගෘහස්ථ ශ්‍රාවකයාගේ උපෝසථ ශීලයයි. තෙරුවන් සරණගත වූ සෑම ගිහි ශ්‍රාවකයෙක්ම පොහෝ දින උපෝසථ ශීලයෙහි යෙදිය යුතුය. මෙම උපෝසථ ශීලයෙහි ප්‍රධාන ලක්ෂණ කිහිපයකි. පංච ශීලයට අමතරව අලුතින් ම සිල්පද කිහිපයක් එකතු වේ.

පොහෝ දින ඔහු බ්‍රහ්මචාරීව වාසය කරන දිනයයි. එමෙන්ම එදින විකාලයේ ඔහු ආහාර නොගනී. එය ඔහුගේ උපවාස දිනයයි. එදින ඔහු සුඛෝපභෝගී සුව පහසු ඇඳ පුටු පරිහරණය නොකරයි. සුවඳ විලවුන් වර්ග, පුයර වර්ග භාවිතා නො කරයි. එදින ඔහු සංගීත සංදර්ශන ආදිය නැරඹීම නොකරයි. රහතුන් වහන්සේලා ගතකළ උදාර ජීවිත සිහි කරමින් ය ඔහු මෙසේ කල්ගත කරන්නේ.

ඒ ශික්ෂාපද මෙසේය.

  1. පාණාතිපතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
  2. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
  3. අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි
  4. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
  5. සුරාමේරයමජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
  6. විකාලභෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි
  7. නච්ච, ගීත, වාදිත, විසූක දස්සන, මාලා, ගන්ධ විලේපන, ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
  8. උච්චාසයන, මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි

තේරුම:-

  1. (මම උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින්) ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි.
  2. (මම උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින්) සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි.
  3. (මම උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින්) අබ්‍රහ්මචාරී ජීවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි.
  4. (මම උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින්) බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි.
  5. (මම උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින්) මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි.
  6. 6(මම උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින්) විකාලයෙහි ආහාර ගැනීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි.
  7. (මම උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින්) නැටුම්, ගැයුම්, වාදන, විකාර දර්ශන නැරඹීම්, මල්, සුවඳ විලවුන් ආදිය දැරීම ද, විසිතුරු ලෙස සැරසීම් ආදියෙන් ද වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි.
  8. (මම උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින්) උසස් (වටිනා) ආසන ද, මහා (සුඛෝපභෝගී) ආසන ද පරිහරණයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි.

උතුම් තිසරණ සහිත වූ මාගේ මේ අට්ඨාංග උපෝසථ ශීලය සංසාර දුකින් නිදහස් වීම පිණිස ම හේතු වේවා!

සාදු! සාදු!! සාදු!!!

  • උපෝසථ සීලයේ අනුසස් ගැන කියවෙන විත්ථත අට්ඨංගුපෝසථ සූත්‍රය මෙතනින් කියවන්න.