කුරුණෑගල දිස්ත්‍රික්කයේ, හලාවත නගරාසන්න බෝවත්ත- මාඋනාව ග්‍රාමයේ සුපිහිටි මහමෙව්නාව භාවනා අසපුවෙහි වර්ෂ 2019 අප්‍රේල් මස 18 වන දින උතුම් පුණ්‍ය මංගල්‍යයක් සිදු විය. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පින්බර සුරතින්, මහා සඟරුවනේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ, දෙව් මිනිසුන්ගේ සාධු නාද මධ්‍යයේ ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන්ට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය විය. මෙසේ අනේක සහශ්‍ර ජනයාගේ පුෂ්පෝපහාර මධ්‍යයේ ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන් ගොඩනැංවීමේ උදාර පුණ්‍ය ධර්මයේ ආරම්භය සනිටුහන් වීම සිදු විය.

ඒ වන විට මෙම පින්බිමෙහි සංඝාවාස, ධර්ම ශාලා, දාන ශාලා ආදී විහාරාංගයන් ද සම්පූර්ණ වී නොතිබිණ. දහස් සංඛ්‍යාත ජනී ජනයාගේ ශ්‍රම පූජා මධ්‍යයේ සෑ රජුන් අහස් කුස එසවිණ. සෑ රදුන් වටා වූ භූමි භාගයන් සැදැහැවතුන්ගේ ධන පරිත්‍යාගයෙන් භූමි පූජාවන් ලෙසින් ගෞතම බුදු සසුනට පූජා විය. ආලෝක පූජාවෙන් සෑ රජුන් පුදන්නට මනරම් පහන් මණ්ඩපය ද සම්බුද්ධ පූජාවන් සහ අරහන්ත පූජාවන් පිළියෙල වන පූජා මණ්ඩපය ගොඩනැංවිණ. අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට උතුම් කෘතගුණ පූජා පිණිස වසර පුරා දැල්වෙන ශ්‍රී මිහිඳු ප්‍රදීපය සහිත මණ්ඩපය සෑ මළුවේ ගොඩනැංවිණ.

සෑ රදුන් සමඟින් සුවිසල් ධර්ම ශාලා පරිශ්‍රයක් ගොඩනැංවීම ඇරඹුණි. දාන ශාලාව සහිත සංඝාවාස පරිශ්‍රය, උපෝසථාගාරය, උතුම් ත්‍රිපිටක පොත් වහන්සේලා ප්‍රධානකොට සදහම් පොත් වහන්සේලා තැන්පත් වන සදහම් පුස්තකාලය සහ කුටි සෙනසුන් ගොඩනැංවීම ඇරඹුණි. විශ්‍රාම ශාලා, මුළුතැන්ගෙය, වැසිකිළි කැසිකිළි ආදී මූලික පහසුකම් සම්පූර්ණ වන්නට යෙදුනි. අව් වැසිවලින් පීඩාවට පත් නොවී සෑ රජුන් වන්දනා කරගැනීමේ පුණ්‍ය චේතනාවෙන් සෑ රජුන් වටා සුවිසල් සෙවණ මණ්ඩපයක් ඉදිවිණ. හේවිසි නදින් ශ්‍රීමත් ධාතූන් වහන්සේලා පුදන්නට හේවිසි මණ්ඩපය ගොඩනැංවිණ.

ඒ භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රීමත් සර්වඥ ධාතූන් වහන්සේලා අට නමක් සතරැස් කොටුවෙහි විරාජමානව වැඩසිටිමින් දෙවි මිනිසුනට සෙත සළසන්නාවූ ද අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාට අයත් වූ මහා තෙද බල ඇති අපගේ ශ්‍රී අංගුලිමාල මහරහත් මුනිඳුන්ගේ ශ්‍රී අරහන්ත ධාතූන් වහන්සේලා දහස් නමක් සුවඳවත් ධාතු ගර්භයේ සුවසේ ම වැඩසිටින, කල්පයක් බල පවතින ශ්‍රී අංගුලිමාල පිරිත් දෙසුමන් සෑ මළුවේ නිතින් රැව්දෙන, මව්වරුනගේ දුක් සෝ සුසුම් නිවාලමින් සැමට දිව ඔසුවක් වන් වූ මහා තේජෝ බලයෙන් යුතුව මේ මිහිමත විරාජමානව වැඩසිටින ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන් බුදු වසින් 2569 ක් වූ වෙසක් පුන් පොහෝ දින (ව්‍යවහාර වර්ෂ 2025/05/12) ධර්ම ශාලා පරිශ්‍රය, සංඝාවාස පරිශ්‍රය ද සමගින් සකල විහාරාංගයන්ගෙන් සමලංකෘත ව චංචල නිශ්චල දේපල සහිතව ගෞතම බුදු සසුනට පූජා විය. (සේයා රූ 👇)

එමෙන්ම මෙම මහානීය පුණ්‍ය මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකාද්වීපයේ වැඩසිටින ගුණවෘද්ධ, තපෝවෘද්ධ, ස්ථවිර වූ ශතාධික ත්‍රෛනිකායික මහා සඟරුවන ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරයේ ධර්ම ශාලා මන්දිරයට වඩමවා දහවල පිරිකර සහිත මහ දන් පුදමින් ද එදින සවස් කාලයේ දඬුවැට පහන් ආලෝක පූජාවන් සමඟින් දහස් ගණනින් වූ පහන් ආලෝකයෙන් ද අනේක විධ සුගන්ධවත් මලින් මහ සෑ රජුන් පුදමින් අප විසින් බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන අග්‍ර පින් රැස්කරන ලද්දේය.

එමෙන්ම වෙසක් පුන් පොහෝ දින ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරයේ පෙහෙවස් සමාදන් වූ පහළොස් දහසකට අධික උපාසක උපාසිකාවන් ට ද සෑ රදුන් වන්දනා කිරීමට පැමිණි තිස් දහසකට අධික සැදැහැවතුනට ප්‍රනීත වූ Hot Chocolate පානය පූජා විය. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් යුතුව, කැනඩාවේ ටොරොන්ටෝ  නුවර මහමෙව්නාව භාවනා අසපුවේ ගරු අනුශාසක පූජ්‍ය දිවුලපිටියේ ජීවානන්ද ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් එම මහමෙව්නාව අසපුවට සම්බන්ධ සැදැහැවත් දායක පින්වතුන්ගේ ධන පරිත්‍යාගයෙන් කැනඩාවෙන් ගෙන්වන ලද නැවුම් Hot Chocolate පානය සත්පුරුෂ දානෝපස්ථානයක් ලෙසින් පූජා කළෙමු.

මෙම මහා පුණ්‍ය මංගල්‍යයට සහභාගී වීම සඳහා ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරයට පැමිණීමට නොහැකි වූ සැමට නිවසේ සිට සම්බන්ධ වීමට ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මේ මහා පින්කම සජීවී ව විකාශය කරන ලදී. එම සජීවී විකාශය ඔබට පහතින් නැරඹිය හැකිය.

තවද මෙම පුණ්‍ය මංගල්‍යයට සමගාමීව වෙසක් පුන් පොහෝ දිනට පසු දින ශ්‍රී අංගුලිමාල මහා සෑ රදුන් වන්දනා කරගැනීම පිණිස පැමිණි තිස් පන්දහසකට අධික සැදැහැවතුන් උදෙසා පිරිනැමුන ප්‍රණීත බත් දන්සල සොඳුරු දානෝපස්ථානයක් විය.

ශ්‍රී අංගුලිමාල මහා සෑය සහිත මේ මහා විහාරය ගොඩනැංවීම සඳහාත්, මේ මහා විහාරය ගෞතම බුදු සසුනට පූජා කිරීමේ මේ මහා පුණ්‍යෝත්සවය උදෙසාත් ලංකාවේ සිට මෙන්ම විදේශයන්හි සිට ද ධනයෙන්, ශ්‍රමයෙන් හා නන් අයුරින් දායක වූ සැමටත්, සහභාගී වූ සැමටත්, දැකබලා අනුමෝදන් වන සියලු‍ දෙනාටත් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම මේ මහානීය පින හේතු වාසනා වේවා!

‍කුරුණෑගල – හලාවත ප්‍රධාන මාර්ගයේ යනෙන සැමගේ නෙත් සිත් සැදැහැයෙන් පුබුදු කරනා උසින් අඩි 115ක් පමණැති ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන්ගේ කොත් වහන්සේ නෙත් පුරා දකිමින් නිතින් පින් පුරති. අප ගෞතම සම්මා සම්බුදු රජුන්ගේ ත්‍රිවිධ මංගල්‍යය සිදුවූ වෙසක් පුන් පොහෝ දින ගෞතම බුදු සසුන උදෙසා මහත් හරසරින් පුද දුන් මහා තෙද බල පැතිරෙන ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන්ගේ පිහිටාශිර්වාදය ලබන්නට සියල්ලෝ ම පැමිණෙත්වා!

උතුම් ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන්ගේ තේජානුභාවයෙන් සැමට සෙත් වේවා!

ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය,
බෝවත්ත, බිංගිරිය.

වීඩියෝ දසුන් පෙළ

සේයා රූ