ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ආශීර්වාදයෙන් ඊයේ (දෙසැම්බර් 27) රාත්‍රිය පහන් වනතුරු “මහා සතිපට්ඨාන දේශනය” පින්වත් අංකුඹුරේ අමිතදීප ස්වාමීන් වහන්සේ විසින් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී පවත්වන්නට යෙදුනා. මෙම දහම් වැඩසටහන සඳහා 4000කට අධික සැදැහැවතුන් සහභාගී වී සිටියා.
නිවන පිණිස ඇති ඒකායන මාර්ගය වශයෙන් අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද සතර සතිපට්ඨානය ගැන විස්තර වශයෙන් සඳහන් වන දීඝ නිකායේ මහා සතිපට්ඨාන සූත්‍රයේ අර්ථ පහදා දෙමින්, සතිපට්ඨාන සූත්‍රය සියලු දෙනා සමග එක්ව සජ්ඣායනා කරමින්, බොහෝ දෙනෙකුට පින් රැස් කරගන්නටත්, ධර්මාවබෝධයට අවශ්‍ය ප්‍රඥාව උපදවන කුසල් රැස් කරගැනීමටත් අවස්ථාව සලසා දීමට අපට මෙයින් හැකියාව ලැබුණා.
මෙම දහම් වැඩසටහනේ සජීව විකාශයේ පටිගත වූ දර්ශන ඔබට මහමෙව්නාව යූටියුබ් නාලිකාවෙන් නැරඹිය හැකියි. ඒ වගේම ඡායාරූප එකතුව මහමෙව්නාව ෆේස්බුක් පිටුවෙන් දැකගත හැකියි.
මේ උතුම් පින්කමට බොහෝ පිරිසක් දායක වුණා. දන්සැල්, ආහාරපාන, තේ පැන් සංග්‍රහයන් ආදිය සඳහා බොහෝ පිරිසක් ඇප කැප වෙලා කටයුතු කළා. ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනියේ සජීව විකාශය ඔස්සේ දෙස් විදෙස් බොහෝ පිරිසක් මෙම වැඩසටහනට සම්බන්ධ වුණා. ඒ හැම දෙනාටමත් මේ පින අයිති වේවා!
ඔබ අප හැම දෙනාටම මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ රැස් වූ සියලු පින් හේතු වාසනා වේවා!
Sadu sadu saadu!!!