ශ්‍රී අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට නමස්කාර වේවා!
නාඋල – ඇලහැර ප්‍රධාන මාර්ගයට මුහුණලා මොරගහකන්ද ජලාශ නැරඹුම් මැදිරියට ආසන්නව, මින්නේරිය ගිරිතලේ ස්වභාවික වනජීවී රක්ෂිත වනාන්තරය සහ මැදපිහිල්ල රක්ෂිත වනාන්තරය අතර මොරගහකන්ද ජලාශයට මැදිව, ජනාවාසවලින් තොර වන පියසක පිහිටා ඇති “ශ්‍රී මහාසේන මහමෙව්නාව වන සෙනසුන” සොඳුරු තපෝවනයකි.
මින් වසර කිහිපයකට පෙර වන සෙනසුනෙහි ඉහළ කඳු මුදුනේ රෝපණය කොට වදාළ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛා බෝධීන් වහන්සේ වටා මනරම් වූ බෝධි මන්දිරයක් ගොඩනංවා, අතීත රජ දවස සිදුකළාක් බඳු වූ සොඳුරු ශෛලමය පියගැටපෙළින් යුතු අසිරිමත් සිරි ගෞතම බෝධි මණ්ඩපය පසුගිය 2026-04-25 වැනි දින උදෑසන ක්ෂීරපායාස දානයත් සමඟින් දහස් සංඛ්‍යාත වූ සැදැහැවතුන්ගේ සාධු නාද මධ්‍යයේ ගෞතම බුදු සසුන උදෙසා පූජා විය.
ඉන් අනතුරුව උදෑසන 7.00 ට පමන ජලාශයට මායිම්ව පිහිටා ඇති උස්ම කඳු මුදුනෙහි “ශ්‍රී අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහාසෑරදුන්” ගොඩනැංවීම පිණිස තුන්සිය නමකට අධික වූ සංඝරත්නය හා දහස් සංඛ්‍යාත වූ සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් පංච තූර්ය නාද මධ්‍යයේදී මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍ය මංගල්‍යය සිදුවිය.
බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් උපන් ප්‍රථම ශ්‍රාවක සංඝරත්නය වන චිරරාත්‍රඥ භික්ෂූන් වහන්සේලා අතර අග්‍රභාවයට පත්වූ, හිමාල වනයේ මන්දාකිණි විල් තෙර ඡද්දන්ත හස්තීන්ගෙන් උපස්ථාන ලබමින් හුදෙකලාවේ වැඩසිටි, බුද්ධානුබුද්ධ වූ අපගේ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමය උදෙසා අපගේ කල්‍යාණමිත්‍ර, ගුරුදේවෝත්තම කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් යුතුව ගොඩනැංවෙන මෙම සොඳුරු මහසෑ රදුන්ගේ සුදුර්ලභ උපස්ථානට පින් කැමති සියලු දෙනා සැදැහැ සිතින් එක්වෙත්වා !!!
විමසීම්:-
📞 076 8255 752
📞 071 906 1044
📞 076 8255 698
📧 moragahakanda@mahamevnawa.lk
ගිණුම් විස්තර:-
ගිණුමේ නම: ශ්‍රී මහා කොණ්ඩඤ්ඤ චෛත්‍ය අරමුදල
ගිණුම් අංකය: 1090 6100 6817
බැංකුව: සම්පත් බැංකුව, දඹුල්ල ශාඛාව
ශ්‍රී මහාසේන මහමෙව්නාව වන සෙනසුන,
ජලාශය අසල, මොරගහකන්ද – මාතලේ.






සාධු සාධු සාධු !
උතුම් මහරහතන් වහන්සේලා ට මාගේ නමස්කාරය වේවා…
සියළු කටයුතු සුවසේම සිදුවේවා!!!
සාධු සාධු සාධු !
උතුම් මහ රහතන් වහන්සේගේ සිරිපා කමල් සිරසින් වන්දනා කරමි