බෝධිරාජ කුමාරිය බෝධිය වැන්ද හැටි

දා අපි බෝධි වන්දනාවකට ගියා. අපේ ආච්චි නම් හරීම ලස්සනට බෝධි වන්දනා කවි කියන්න දන්නවා. ඒවායේ තේරුමත් හරිම ලස්සනයි. ඉතින් අපි කවුරුත් බෝ සෙවනේ වාඩි වෙලා ලස්සනට බෝධි වන්දනා කළා. පිරිත් කිව්වා. දෙවියන්ටත් පින් අනුමෝදන් කළා.

“ඇයි ආච්චි…. මේ බෝධීන් වහන්සේ ගේ අතුවල කපුටන්ගේ රූප, නයින්ගේ රූප ඇඳපු කොඩි එල්ලලා තියෙන්නේ…? ආච්චි අර…. අර බලන්න…. අසවලාගේ අපල දුරු වේවා කියලා කොඩි එල්ලලා තියෙන්නේ ඇයි ආච්චි…?”

“අනේ පව් මයෙ පුතේ…. ඒ මිනිස්සුන්ට භාග්‍යවතුන් වහන්සේව අවබෝධයෙන් ම සරණ යන්ට පින මදි. තමන්ගේ ඕනෑඑපාකම් මිත්‍යා දෘෂ්ටියට ගලපලා කොඩි වල ලියලා අපේ භාග්‍යවතුන් වහන්සේගේ බෝධියේ එල්ලලා, තියෙන පව් වැඩිකර ගන්නවා” කියලා ආච්චි හරි අනුකම්පාවෙන් හිනාවුනා.

“ඒ කියන්නේ ආච්චි එතකොට බෝධීන් වහන්සේත් එක්ක අපල දෙන ග්‍රහයන්ගේ කිසිම සම්බන්ධයක් නැද්ද?”

“නෑ මයෙ පුතේ…. කිසිම සම්බන්ධයක් නෑ. එබඳු මිසදිටුවක් බෝධියට ගාවගන්නවත් හොඳ නෑ. බෝධිය කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ තුළ තිබුණු චතුරාර්ය සත්‍යාවබෝධ ඤාණයටයි. මේ රුක් සෙවණේදි අපේ බුදුරජාණන් වහන්සේ උතුම් බුද්ධ රාජ්‍යයට පත්වුනා නොවැ. ඒ නිසයි එදා ඉඳලා මේ වෘක්ෂ රාජයා බෝධිය නමින් දෙවි මිනිසුන්ගෙන් වැඳුම් ලබන්නේ. මේ බෝධීන් වහන්සේ වැඩඉන්නේ අපට වන්දනා මානන පුද පූජා පවත්වලා පින් රැස්කර ගන්ටයි. මේ බෝධීන් වහන්සේ දකිද්දි මට ලස්සන කතාවක් මතක් වුනා මයෙ පුතේ….”

“අනේ ආච්චි…. අපි හරීම ආසයි ඔයා කියාදෙන ලස්සන කතා අහන්න”

“මයෙ පුතේ…. ඉස්සර අපේ රටේ ගෞතම බුදු සසුන බබළන කාලේ හකුරැලි කියලා එක්තරා ගම්මානයක් තිබුනා. ඉතින් ඔය ගමේ ලොකු බෑවුමක වතුර වළක් තිබුනා. හරි අගේට ගහ පුරාම මල් පිපිච්ච මුරුත මල් ගහක් එතන තිබුනා. හැබැයි ඒ ගහ ළඟට ගොඩින් යාගන්ට අමාරුයි. මල් නෙළන අය කරන්නේ පහළට බැහැලා වතුර වලට බහින එක. ඊට පස්සේ එතනින් පීනාගෙන ගොහින් ගහ ළඟට ගොඩ වෙනවා. ඇතිතරම් මල් නෙළාගන්නවා. ඒ මල් බුද්ධ පූජාවට තියනවා.

ඉතින් පුතේ… ඔය විදිහට අමාරුවෙන් මල් නෙළන විදිහ බලාගෙන හිටිය එක්තරා දියණි කෙනෙකුට ඒ ගැන හරි අනුකම්පාවක් හටගත්තා. ඉතින් ඒ පින්වන්ත දැරිවි හොඳින් වේලිච්ච එරබදු ගහක කඳක් දැකලා ඒක අරගෙන ආවා. අර මුරුත ගහ ළඟට ඒ දණ්ඩක් වගේ හිටින්න සැලැස්සුවා. ඊට පස්සේ පුතේ මල් නෙළන්න පීනා යන්ට ඕන වුනේ නෑ. මිනිස්සු සුවසේ ම ගොහින් මල් නෙළාගත්තා.

ඉතින් පුතේ…. ටික කලක් යද්දි ඔය දැරිවි අසනීප වුනා. මරණයට පත්වුනා. මල් නෙළන්ට පහසුව සලසාපු පිනෙන් ආයෙමත් මනුස්ස ලෝකෙ උපන්නා. මෙවර ඈ උපන්නේ දඹදිවයි. පාටලීපුත්‍ර නුවර සෝමදත්ත රජ්ජුරුවන්ගේ දියණිය වෙලා උපන්නා. හප්පා මයෙ පුතේ….. මේ කුමාරිකාවගේ ලස්සන බලන්ට එපායැ. සරීරය ඇහැළ මල් වගේ රන්වන් පාටයි. කෙස් කළඹ තද නිල් පාටයි. ඇස්පිය හෙළුවේ නැත්නම් දිව්‍ය අප්සරාවියක් කියලා කවුරුත් රැවටෙනවා. ඒ තරම් ම රූප සෝභාව. ඉතින් සෝමදත්ත රජ්ජුරුවෝ තමන් ගොඩාක් ආදරේ බෝධීන් වහන්සේට නිසා මේ සුරූපී දියණියට බෝධිරාජ කුමාරිය කියලා නම දැම්මා.

ඊට පස්සේ මයෙ පුතේ…. පින විපාක දෙන හැටි නම් හරි පුදුමයි. මිනිසුන්ට සුවසේ මල් නෙළාගන්ට පහසුව සැලැස්සූ නිසා කුමාරි උපන් දවසේ ම රජ්ජුරුවන්ට අහසින් යන සෛන්ධව කුලයේ සුදුම සුදු ලස්සන අශ්ව පැටියෙකුත් ලැබුනා. රජතුමා ඒ අශ්ව පැටියාට සුවීරක කියලා නම දැම්මා. ආදරයෙන් උපස්ථාන කළා. ඒ වගේම පුතේ ඒ අශ්ව පැටියාට අපට වගේ කියාදෙන දේවල් හොඳට තේරෙනවා.

ඉතින් පුතේ… මේ සුවීරක අශ්වයා ලොකු වුනාට පස්සේ රජතුමා අසු පිටේ නැගලා අහසට පැන නැගිලා දිනපතා තුන් වතාවක් කොහේදෝ පිටත් වෙනවා. බෝධිරාජ කුමාරිට මේක හරී ප්‍රශ්නයක්. ඈ පිය රජ්ජුරුවන්ගෙන් ඇහුවා තුන් වතාවක් ම මේ කොහේද යන්නේ කියලා. රජ්ජුරුවෝ කිව්වෙම නෑ. ඉතින් මයෙ පුතේ, කුමාරිත් අතඇරියේ ම නෑ. ආයෙමත් පෙරැත්ත කර කර අහනවා. එතකොට රජ්ජුරුවෝ රහස එළිකළා. “මයෙ දුවේ…. ඔයා දන්නවානේ අපගේ භාග්‍යවතුන් වහන්සේ ගැන. ඉතින් දුවේ…. ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේ ඒ අමා නිවන සොයාගෙන සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා නොවැ….. දුවේ…. ඒ තැන තියෙන්නේ මෙහේ ඉඳලා අසූ යොදුනක් දුරිනුයි. ඉතින් දුවේ එහේ තියෙනවා නිල් කැටේ වගේ ජලය ගලාගෙන යන නේරංජරා කියලා ලස්සන නදියක්. ඒ නදිය දෙපැත්තේ ම ඇති වැලි තලාවත් හරි ලස්සනයි. එහේ තමයි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ ඉන්නේ. ඉතින් මයෙ දුවේ ඒ බෝ සෙවණේ උතුම් වජිරාසනය මත තමයි අපේ භාග්‍යවතුන් වහන්සේ බුදුබව ලැබුවේ. ආන්න ඒ බෝධීන් වහන්සේ බැහැ දැක්කාම ජීවමාන භාග්‍යවතුන් වහන්සේ බැහැදැක ගත්තා වගේ මගේ හිතට වචනයෙන් කියන්ට බැරි මහා සතුටක් දැනෙනවා දුවේ. ඒ නිසයි මං දිනපතා අපේ සුවීරකගේ පිටේ නැගලා බෝධීන් වහන්සේට උපස්ථාන කරන්ට තුන් වතාවක් ම යන්නේ” බෝධි වන්දනා

“අනේ…. පියාණෙනි…. ඔයා මට ආදරේ නම්…. අනේ…. මාවත් එක්කරගෙන ම යන්න ඕනා… මාත් අපේ ශ්‍රී මහා බෝධීන් වහන්සේට උපස්ථාන කරන්ට හරිම ආසයි” කියලා බෝධිරාජ කුමාරි පිය රජ්ජුරුවොත් එක්ක යන්ට කොහොම හරි කැමති කරවා ගත්තා.

“එදා ඉඳලා මයෙ පුතේ, මේ රජ්ජුරුවොයි රාජ කුමාරියි දිනපතා තුන් විටක් බෝධීන් වහන්සේට උපස්ථාන කරන්ට යනවා. ටික කලක් යද්දි සෝමදත්ත රජ්ජුරුවන්ට අසනීපයක් හටගත්තා. එන්න එන්න අසාධ්‍ය ම වුනා. තමන් මේ ඉන්නේ අවසාන අවස්ථාවේ බව රජ්ජුරුවන්ටත් තේරුනා. එතකොට රජතුමා සුවීරක සෛන්ධව අශ්වයාව කැඳෙව්වා. ඒ අශ්වයාගේ මූණ සිම්බා. කනට කොඳුරලා මෙහෙම කිව්වා.

බෝධි වන්දනා ව නුඹට භාරයි

“මගේ ආදර පුත්‍රය…. නුඹව මට ලැබුන දා පටන් මං ආදරයෙන් රැකබලා ගත්තා. පෝෂණය කළා….. ඉතින් පුතේ…. නුඹත් අද පටන් මාගේ දියණිය බෝධිරාජ කුමාරිවත් ආදරෙන් රැකබලා ගන්ට ඕනෑ. මගේ දූ කුමාරිගේ ආරක්ෂාව තොපට භාරයි. හොඳට පරෙස්සමෙන් බෝධි වන්දනා වට එක්කරගෙන යන්ට ඕනෑ. හොඳ පරෙස්සමෙන් ආපහු එක්කරගෙන එන්ටත් ඕනෑ” කියලා අවවාද කරලා අභාවයට පත්වුනා.

ඊට පස්සේ මයෙ පුතේ…. දැන් පිය රජ්ජුරුවොත් නෑ. නමුත් බෝධිරාජ කුමාරි තනියම දිනපතා තුන් විටක් බෝධි වන්දනා වට අශ්වයා පිටේ නැගලා කලින් වගේම අහසින් යනවා. ටික කලක් යද්දි මයෙ පුතේ, පුදුමාකාර ලස්සනකින් යුතු කුමාරියක් බෝධීන් වහන්සේ වන්දනා කරන්ට තනියම එන වග මිනිස්සු අතරේ පැතිරුනා. මේ කුමාරි ගැන බරණැස් රජ්ජුරුවන්ට ඔත්තු කිව්වොත් තෑගි බෝග ලැබෙන බව මිනිස්සු දන්නවා. ඒ නිසා මිනිස්සු ගිහින් බරණැස් රජ්ජුරුවන්ට මේ ගැන දැනුම් දුන්නා. විස්තරේ අහපු ගමන් බරණැස් රජ්ජුරුවෝ පුදුමාකාර සතුටට පත්වුනා. ඒ ලස්සන කුමාරිව අල්ලගෙන තමන් සතු කරගන්න ඕනා කියලා හිතාගත්තා. සේනාවක් සමග තමන් ම පිටත් වුනා. කුමාරි එනකල් තැන් තැන් වල පඳුරු අස්සේ සැඟවිලා හිටියා.

ඉතින් මයෙ පුතේ…. එදත් තව්තිසාවෙන් මනුලොවට වඩින දිව්‍යාංගනාවක් වගේ මේ ලස්සන කුමාරිකාව අශ්වයා පිටෙන් අහසින් ආවා. බෝධීන් වහන්සේට වන්දනා කළා. බෝ මළුව ඇමදුවා. බෝධියට පැන් වැඩුවා. එදා බෝධීන් වහන්සේ පැදකුණු කරද්දි බෝධිරාජ කුමාරිට කිසියම් අමුත්තක් දැනුනා. ඈ වටපිට බලද්දි හෙවණැලි වගේ මිනිස්සු පඳුරු අස්සෙන් වේගෙන් දුවගෙන එනවා පෙනුනා. කුමාරි හොඳටම තැතිගත්තා. කලබල වුනා. දුවගෙන ගිහින් අශ්වයාගේ පිටට නැග්ගා. අශ්වයාටත් අනතුර තේරුනා. අශ්වයාත් කලබල වෙලා වේගයෙන් අහසට පැනනැංගා. කුමාරි අශ්වයාගේ බෙල්ල බදාගත්තා. නමුත් ඇඟ පැත්තට ඇල වුනා. එතකොට අත්දෙක ලිස්සුවා. කුමාරි අශ්වයා පිටෙන් වැටුනා. එතකොට මයෙ පුතේ…. අශ්වයාගේ හිතේ එදා පිය රජුගෙන් ලැබුනු අවවාද කාවැදී තිබුන හැටි හරි පුදුමයි. අශ්වයා සැණෙකින් ඔළුව පාත් කරලා කුමාරිගේ කෙස් වැටිය කටින් ඩැහැගත්තා. අහසින්ම පාටලීපුත්‍ර නගරයේ රාජ මාලිගාවේ සඳලු තලයට ගෙනිච්චා.

බලන්න මයෙ පුතේ…. එදා රාජ කුමාරිට කිසි අනතුරක් වුනේ නෑ. අශ්වයා අවවාදය අකුරට ම ඉෂ්ඨ කළා. තිරිසන් සතෙක් වුනත් තමන්ට සැලකූ දේ ගැන ඇති කෙළෙහිගුණය ගැන හරි පුදුමයි. ඔයාලත් කෙලෙහි ගුණ දන්නා අය වෙන්න. ඒ වගේම පුතේ…. එදායින් පස්සේ කුමාරිට තනියම බෝධි වන්දනා වට යන්න සිතට ධෛර්යය ඇතිවුනේ නෑ. නමුත් දන්සිල් භාවනා පින්කම් හොඳට කරගත්තා. මරණින් මතු දෙව්ලොව උපන්නා.

ඉතින් මයෙ පුතේ…. බෝධීන් වහන්සේට උපස්ථාන කිරීම ඒ කාලේ රජ දරුවන් වගේම තෙරුවන් සරණ ගිය සාමාන්‍ය උදවියත් හරි විදිහට කළා. ඒ කියන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන ඇප උපස්ථාන කරනවා වගේ බෝධීන් වහන්සේට උපස්ථාන කළා. ඒ කාලේ දැන් වගේ නයි කපුටෝ ඇඳලා කොඩි නම් එල්ලුවේ නෑ. හරි විදිහට බෝධි පූජාවක් කළොත් ගොඩාක් පින් රැස්කරගන්ට පුළුවනි මයෙ පුතේ….”

ඉතින් එදා අපේ ආච්චි ඒ විදිහට කතාව කියාදීලා ඇස් දෙක වහගත්තා. මීට කලින් අපි අසා නැති ලස්සන කවියක් මෙහෙම කිව්වා.

යමෙක් පුදයි නම් ජය සිරි මහ බෝධි
පිදුවේ ඒ කෙනා අප මුනිඳුගෙ බෝධි
හැම සැප සදන දියුණුව සලසන බෝධි
දිවමන් මුනිඳු ලෙස නමදිමු මහ බෝධි

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

 

ජයසිරි මහ බෝධිය ආරක්ෂා කරන්නට පිරිස් බලය ඇති කළේ මෙහෙමයි