deer-1

ජාතියේ දියුණුවටත් ඔබේ දියුණුවටත් රුවන්වැලි සෑය බලවේගයක් කරගන්න

නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් – 3

දියුණුව යනුවෙන් පුද්ගලයා අදහස් කරගෙන සිටින්නේ තමන් සතුව පවතින මුදල් හෝ මුදලින් මිනිය හැකි වස්තු ප්‍රාමාණය ය. තමන් පුද්ගලික ලෙස ලබා ගන්නා ලාභ කීර්ති ප්‍රශංසා ආදිය සඳහා උදේ සවස වෙහෙස දරන වත්මන් සිංහලයා, තමන්ගේ සමාජය සහ ජාතිය වෙනුවෙන් කිසිදු කැපකිරීමක් නොකළා පමණක් නොව තමන්ට ලැබෙන සොච්චම් වාසියක් උදෙසා තම ජාතිය නොතකා හැරීමට හෝ පාවාදීමට ද සූදානම්ය. වඩා වැදගත් වන්නේ තමන්ට ලැබෙන දෙය මිස ජාතිය වැනි පළල් සංකල්ප නොවන බව බොහෝ දෙනාගේ අදහස ය. නමුත් සමාජයෙන් හෝ ජාතියේ දියුණුවෙන් තොරව ලබන පටු වාසි, සැබෑ දියුණුවක් නොවන බව නිදහසෙන් වසර පනස් අටක් ගෙවන දේශයක් සහ ජනතාවක් ලෙස තවම අප අවබෝධ කරගෙන නොමැත.

ජාතිය යන්නෙහි වටිනාකම ගැන හෝ එය රැකගැනීම උදෙසා කැපවීමක් කිරීමට ඉදිරිපත් නොවන පුද්ගලයන්, එයට දෝෂාරෝපණය කිරීමට පහසුවෙන් ඉදිරිපත් වෙනවා. අපේ හාමුදුරුවනේ… මේ ජාතිය වටින්නේ ඇයි…? රැකගත යුත්තේ ඇයි…?

මේ ජාතියට සේවය කරපු මහා පුරුෂයන් ඕනෑ තරම් බැණුම් අහලා තියෙනවා. එහෙම වුණාට අදත් මේ ජාතිය තමන්ගේ වීරයන් විදිහට සලකන්නේ ඒ මහා පුරුෂයන්ව. ජාතිය වෙනුවෙන් අපි ඉටුකළ යුත්තේ අපේ වගකීම. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වෙහෙර විහාර හදමින්, ත්‍රිපිටකය කටපාඩම් කරගනිමින්, දළදා වහන්සේට, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට ආවතේව කරමින් ආරක්ෂා කර ගත්තේ, මේ ජාතිය යි. ඒ තමයි සිංහල ජාතියේ ශ්‍රේෂ්ඨත්වය. අපි සම්බුද්ධ ශාසනය වෙනුවෙන් දිවි පිදූ ජාතියක්. ඒ තමයි මේ ජාතියේ විශිෂ්ටත්වය. සිංහල ජාතිය වඳ වුණොත් එහි හානිය මානව වර්ගයාට ම යි. මේ නිසා හැම පැත්තෙන් ම මේ ජාතිය රැකගැනීම අපේ වගකීම යි.

අපේ හාමුදුරුවනේ… මෑතක සිට සිංහලයා නැඹුරු වී සිටින්නේ වීර්යයෙන් වැඩ කිරීම වෙනුවට අලස සුවය විඳීමට බව පෙනෙනවා. මහා විර්යයෙන් යුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වුවත් සිඳුණු වීර්යය සිංහල ජාතියට දුර්භාග්‍ය උදාකරමින් තිබෙන බව පෙනෙනවා…

මේක වීර්යය පිළිබඳ ගැටලුවක් ම යි. ජාතිකත්වය කියන්නේ හරවත් දෙයක්. ඒ හරය වෙනුවෙන් අපි වීර්යය වඩන්න ඕනේ. ඒක කලකෝලහල කරගන්න දෙයක් නෙමෙයි. අපේ පරම්පරාව විසින් දායාද කරලා තියෙන මහා වස්තු, මහා සංස්කෘතිය කියාපාන්නේ අපේ ජාතියේ වීර්යය. ඒ වීර්යය, විනයවත් ලෙස බුද්ධිමත් ලෙස ක්‍රියාමාර්ගයේ යෙදවීම තමයි ජාතියේ ආයුෂ තීරණය කරන්නේ. අපි ලෝකයට දීලා තියෙන දේවල් බලන්න… මහා බුද්ධිමය සම්ප්‍රදානයක් වූ ත්‍රිපිටකය රැකගත්ත ජාතිය අපියි. ජාතියක් විදිහට පිරිස සහ භූමි ප්‍රමාණයෙන් කුඩා වුවත් මහා වීර්යයකින් අපි වැඩ කළා. කාටවත් අපිව වීර්යයෙන් පරාජය කරන්න බැරි වුණා. එතැනයි අපේ ජයග්‍රහණය තිබුණේ.

ජාතිකත්වය කියන එක මේ තරම් වැදගත් ද…? බෞද්ධයෝ විදිහට අපිට තියෙන කර්තව්‍ය රට, ජාතිය ගැන හිතන එක ද, නිවන් දකින එක ද…? ඔබ වහන්සේලා ම බුද්ධ වචනය අපිට දේශනා කරන්නේ “හිස ගිනි ගත්තෙක්, ඒ ගිනි නිවනවා වගේ වහ වහා නිවනට වැඩ සලසාගන්න” කියලයි. එහෙම තියෙද්දී රට ජාතිය වගේ සංකල්පවලට බෞද්ධයන් පටුවෙන එක හරිද කියලා සමහරෙක් ප්‍රශ්න කරන්න පුළුවන්…

ජාතිය මුළුමනින් ම ධර්මයේ හැසිරෙනවා නම් ඒක පිළිබඳව අපට ගැටලුවක් නැහැ. අද පවතින මේ අරුමෝසම් දේවල් නිසා ධර්මයට පවා ජාතිය ගරහනවා. ධර්මය රැකගෙන ඒ මාර්ගයේ යන්නේ ජාතිකත්වයක් සහිත පිරිස විතරයි. මට තියෙන චෝදනාවක් තමයි තරුණයෝ පැවිදි කරනවා කියන එක. තරුණයෝ පැවිදි කළහම ජාතියට මොකද වෙන්නේ කියලා සමහරු අහනවා… ජාතියේ එක තරුණ කොටසක් කුඩු ගහනවා. තව පිරිසක් බේබද්දෝ… මේක නවත්වන්න කවුරුවත් නැහැ. යම් තරුණයෙක් ආර්ය මාර්ගයට ඇවිල්ලා මේ ජාතිය වෙනුවෙන් තම ජීවිතයෙන් සේවය කරනවා නම් ඒකට බණින්න ඕනෑ තරම් පිරිස ඉන්නවා. ඇත්ත වශයෙන් ම කිව්වොත් ජාතිකත්වයෙන් තොරව බුදුරජාණන් වහන්සේගේ ධර්මය පවත්වාගෙන යන්න බැහැ. දෙමළ සහ මුස්ලිම් ජනවර්ග කටයුතු කරන්නේ අන්ත වර්ගවාදී ආකාරයෙන්. එහෙම දෙකොටසක් කටයුතු කරනකොට සිංහලයෝ පැත්තකට වෙලා හිටියොත් මොකද වෙන්නේ… යම් ජාතියක් තමන්ගේ ආගම ජාතිය ගැන නොසිතා කාමාශක්ත ජීවිතයක ගත කරමින්, අලසකමින් කාලය ගත කරනවා නම්, ඒ ජාතිය පිරිහෙනවා. ඒ සඳහා ආරම්භය ලබාගත හැක්කේ බුදුරජාණන් වහන්සේ සරණ යෑමෙන්. ධර්මය සරණ යෑමෙන්. ශ්‍රාවක සංඝයා සරණ යෑමෙන්. එහෙම නැතුව කේන්දර නැකැත් සරණ යෑම නෙමෙයි. මනාකොට තිසරණය පිහිටා සිටින රජවරු සිටිනා කාලයේ මේ මහ පොළොව සශ්‍රීක වුනා. එදා ධාර්මික රජවරු ඉන්නකොට රට දියුණු කරන්න, සොබාදහම පවා සම්බන්ධ වූ විදිහ මහාවංශය කියවගෙන යනකොට පෙනෙනවා. මනාව තිසරණයේ පිහිටි බව තමයි මේ මාතෘ භූමියට අදාළ උරුමය. ශ්‍රී ලංකාද්වීපය නැමැති, සිංහලද්වීපය නැමැති භුමියේ උරුමය වන්නේ තිසරණය යි. බුද්ධ ශාසනය යි. ඒ බුද්ධ ශාසනයට කැපවුණු නායකයෝ බිහිවුණ දවසට මේ රට දියුණු වෙනවා. බටහිරින් ණය අරගෙන මේ රට දියුණු කරන්න බැහැ.

මේ රට දියුණු කරන්න නම්, ජනතාවට දියුණු වෙන්න ඕනේ නම්, තිසරණය මත පිහිටන්න ඕනේ කියලා ඔබවහන්සේ ප්‍රකාශ කළා. ඒක ජනතාවට ඒ තරම් ම දැනෙන දෙයක් නෙමෙයි නේ… දෙවියන්ට පූජා වට්ටියක් තියලා තමන් කැමති දෙයක් ඉල්ලීම, ෆෙන්ෂුයි වගේ ක්‍රමවේදයක් අනුගමනය කරලා තමන්ට දියුණුව ලබා ගැනීම වගේ ක්‍රම ජනතාව අතර ජනප්‍රිය වුණත්, තිසරණය පිහිට කොටගෙන දියුණුවීම ජනතාවට තරමක් දුරස් මාතෘකාවක්…

අපි ගත්තොත් අසවේදු පෘතුගීසිකාරයා මේ රටේ වැසියන් ඔවුන්ගේ ආගමට හැරවීම සඳහා කරපු දේ අපි දන්නවා,. මවු ඇකයේ හිටපු දරුවන් ඇදලා “කතෝලික ආගමට වරෙන්, නැත්නම් දරුවා මරනවා…” කියලා කියද්දීත් අපේ අම්මලා මේ තිසරණය පාවලා දුන්නේ නැහැ. රැකියාවට, ලෙඩ සනීප කරනවා කිව්වා ම තිසරණය පාවා දෙන්න සමහරු හදනවා. ඉතා සුළු දේට පවා අද තිසරණය පාවා දෙනවා. ජීවිත පරිත්‍යාගයෙන් තිසරණයේ පිහිටපු ජාතියක් අපි. ඒකයි සිංහලයාගේ වටිනාකම. මේ ජාතිය ශාක්‍යවංශයේ නෑදෑයෝ. අදත් බුදුහාමුදුරුවන්ගේ ලේ ඥාති පරපුර විදිහට සජීවීව ඉන්නේ සිංහලයෝ, මහාවංශය කියවලා බැලුවහම සිංහල ජාතියට බුදුහාමුදුරුවන්ගේ තියෙන නෑකම පෙනෙනවා. බුදුරජාණන් වහන්සේ කරා යන ස්වභාවය සිංහල ජාතියේ ජානවල තියෙනවා. මේක තමයි අපි අවදි කරගත යුත්තේ. මාලිමාවේ කටුව උතුරට හැරෙනවා වගේ සිංහල ජාතිය ඇදෙන්නේ බුද්ධාගම දෙසට ම යි. වෙන ආගමකට කෙනෙක් බඳවා ගන්නකොට බුදුහාමුදුරුවන්ට ද්වේශ කරන්න උගන්වන්නේ ඒ ස්වභාවය නැති කරලා දමන්නයි.

තිසරණයේ පිහිටන කෙනාට සසර ගමන ගැන අවබෝධයක් ඇතිවෙනවා. දැන් අපි බලමු තරුණ යුවළක් ගැන. ඒ අයට සාමාන්‍ය ජීවිතයේදී ප්‍රශ්න ගැටලු එනවා. ඒ ප්‍රශ්න දිහා ධර්මානුකූලව බලන්න ඒ අය පුරුදුවෙලා තියෙනවා නම්, ඒ අය අමාරුවේ වැටෙන්නේ නැහැ. සංසාර ස්වභාවය ඒ අය දකිනවා. සතර අපායේ ජීවත්වෙන තිරිසන් සතුන් අපිට වඩා දුක් විඳින විදිහ ඒ අය තේරුම් ගනියි. එතකොට අපි විඳින දුක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම අපිට වඩා පින් කරපු අය දිව්‍ය, බ්‍රහ්ම ලෝකවල ජීවත් වෙන ආකාරය තේරුම් ගනියි. එතැනට ළඟාවෙන්නේ කොහොමද කියල ඊළඟට කල්පනා කරනවා.

නිතර සිහි කළ යුතු දේවල් බුදුරජාණන්වහන්සේ විස්තර කර තිබෙනවා. බුදු රජුන් ගැන සිහිකිරීම, ධර්මය ගැන, ශ්‍රාවක සංඝයා ගැන සිහිකිරීම එතැනදී ප්‍රධානයි. ඊළඟට සීලය ගැන සිහි කිරීම… තමන් මොන වගේ ආත්ම සංයමයකින් යුක්තද කියන එක එතැනදී සිහිපත් වෙනවා. ත්‍යාගය ගැන සිහි කිරීම, ඒ කියන්නේ තමන් පරිත්‍යාග කරන දේ ගැන සිහි කිරීම. දේවතා අනුස්මෘතිය තමයි ඊළඟට. ඒ කියන්නේ තමන් ඊළගට උපදින තැන ගැන. මේ පිළිවෙත් ඔස්සේ ගමන් කරන විට ජීවිතයේ වෙනසක් වෙනවා. ප්‍රශ්න දිහා අවබෝධයකින් යුක්තව බලන්න පුළුවන් වෙනවා. මෙලොව පරලොව දෙක ගැන පැහැදිලි වැඩපිළිවෙළක් මේ තිසරණය තුළ පිහිටීමෙන් ලැබෙනවා. ඒ සියල්ල ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ සරණ යෑමෙන්. මේ පිළිබඳ අලංකාර විස්තරයක් ගුරුළුගෝමීන් විසින් රචිත ධර්මප්‍රදීපිකාවේ තිබෙනවා.

ධර්මප්‍රදීපිකාව රචනා කළේ ලංකාවේ සශ්‍රීක යුගයකදී. පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී. මෙම ග්‍රන්ථය ලියැවෙන්නේ මහ බෝධිවංශයට පරිකථාවක් ලෙසයි. ඒ කියන්නේ මහ බෝධිවංශය තේරුම් කරදීම සඳහා යි. එහි ධර්ම දේශනාව ගැන විස්තර කරනවා. ‘සෝතාපත්ති ඵලං පාපෙත්වා’ යන වචනය එතැනදී තෝරනවා. සෝවාන් ඵලයට පමුණුවා කියන වචනය තෝරමින්, එතැන කියන්නේ “එය කරන්නේ බුදුරජාණන් වහන්සේ විසිනි” යනුවෙන්.

මම ධර්මයක් කියලා ඔබ සෝවාන් වුණොත් ඒ සෝවාන් කළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය විසින්. නැතුව මා විසින් නෙමෙයි. ඒ සඳහා ධර්මප්‍රදීපිකාවේ උපමාවක් කියනවා. රජෙකුගේ රාජ ආඥාවක් පණිවිඩකරුවකු ලවා පිටත් කරනවා. ඒ තැනදී ආඥාව කියන කෙනා ප්‍රශංසා ලබන්නේ “කියූ සේ යහපති” කියලයි. ඒ කියන්නේ, පණිවිඩය කියපු හැටි හොඳයි… කියන එක. එහෙම නැතුව පණිවිඩය එයාගේ නෙමෙයි. අද බණ කියද්දී සමහරු කියන්න හදන්නේ බුදුරජාණන් වහන්සේගේ ආඥාව නෙමෙයි තමන්ගේ ආඥාවක්. එතැන තමයි වැරදිච්ච තැන. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ පටන් යම්තාක් සඟ පිරිස ධර්ම දේශනා කළෝ ද, ඒ සියලු සඟ පිරිස රඡ්ජුරුවන්ගේ ආඥාව සටහන්, ලී පත්ඉරු කියවන්නෝ වැනිය. ඔවුහු ‘කියූ සේ යහපති’ යන ප්‍රශංසා මාත්‍රය ම ලබයි. ධර්මය වනාහි බුදුහු ගැත්තේය… කියලා තමයි ධර්මප්‍රදීපිකාව සඳහන් කරන්නේ. ධර්ම දේශනාවට අපි ගිහිල්ලා වෙන කතා කියලා ආවොත් ඒ බුදුරජුන්ගේ ආඥාවද…? අපි බුදුරජුන්ගේ ආඥාව දේශනා කරන්න ඕනේ… ජනතාව ඒ ආඥාව අනුගමනය කරන්න ඕනේ. එහෙම කළා නම් සිංහල ජාතිය මේ විදිහට පිරිහෙන්නේ නැහැ. බුද්ධ දේශනාව අනුගමනය සඳහා අපි හික්මී නැහැ. අපේ ජාතිය කාලයක් තිස්සේ යම් වැදගත් විනය පද්ධතියකට බැඳිලා නැහැ. වෙනත් පෙරදිග දියුණු රටවල තත්ත්වය බලන්න. නිදාගන්න වෙලාවක් තියෙනවා. නැගිටින්න වෙලාවක් තියෙනවා. හරිම විනයගරුකයි. අපිත් මේ විනය පද්ධතියට බැඳෙන්න ඕනේ. කාමයන් අපිට ලබා දෙන්නේ වෙහෙසක්ම යි. ධර්මය තමයි අපිට සිසිලක්, ශාන්තියක් ලබා දෙන්නේ…

ඔබ වහන්සේ කියූ පරිදි අපි තිසරණයේ පිහිටනවා… වෙනදාට වඩා අවදියෙන් ත්‍රිවිධ රත්නය සමඟ බැඳී ඉන්නවා… ඒ වෙනස අපේ ජීවිත සඳහා සැපවත්භාවයක් උදාකරයිද…? අපි මිරිකී තෙරපී සිටින ප්‍රශ්නවලින් අප මුදවාගෙන ශාන්තියක් එමගින් උදා වෙයිද…?

අනිවාර්යයෙන්ම උදාවෙනවා. ඒ ගැන මම නෙමෙයි… බුදුරජාණන් වහන්සේ සහතිකයක් දෙනවා. “මහණෙනි, මා මේ ධර්මය දේශනා කරන්නේ අවබෝධයෙන් යුක්තවයි. ප්‍රාතිහාර්ය සහිතවයි මෙය දේශනා කරන්නේ… ක්ලේෂ රහිතවයි මෙය දේශනා කරන්නේ… කියලා බුදුපියාණන් වහන්සේ වදාරනවා. එහෙම ධර්මයක් මේ තුන් ලෝකයේ කොහෙත්ම නැහැ. එතැනමයි බලය තියෙන්නේ. එමග යන්න, කිසි දිනක වරදින්නේ නැහැ. දිගින් දිගට ම ධර්මයේ ම ඉන්න… ඔබට උදාවන්නේ ම සැපතක්… මේ වෙනස දැනගන්න, ත්‍රිවිධ රත්නය කෙරෙහි පිහිටා ජීවිතය ගෙනියන්න…

අපේ හාමුදුරුවනේ… සමාජය දැවෙන ආර්ථික ප්‍රශ්න, නිවාස, යාන වාහන, රැකීරක්ෂා, විවාහ, දරුමල්ලන් වැනි සිහින සඳහා ඔබවහන්සේ වදාළ මාර්ගය අදාළද…?

අද අපි හැම දේම පහසුවෙන් කරගන්නවා කියලා, කරගෙන තියෙන්නේ මොකක්ද…? බාල දේවල් කරගන්න එකනේ. ප්‍රේත ආදී බාල බන්ධන තමයි අද අපි වැඩ සඳහා පාවිච්චි කරන්නේ. ගෙවල් දොරවල් හදන කොට ඉගෙනීම වැනි දේ සඳහා බාල ගණයේ ප්‍රේත කොටස්, යන්ත්‍ර සඳහා අද පාවිච්චි කරනවා. මේ බාල දේවල් නිසා දේවතා බලවේග ජාතියෙන් ඈත් වෙලා යනවා… පිරිත අපිට තියෙන මහා ශක්තියක්.

ඒ වගේම සිංහල ජාතියේ අභිවෘද්ධිය සඳහා අපේ ශාස්තෘවරයාණන් වහන්සේ අපිට වටිනා දායාදයක් ලබා දීලා තියෙනවා. ඒ තමයි රුවන්වැලි සෑය… අපේ ජාතියේ මහා වීරයා ගොඩනඟපු රුවන්වැලි සෑය තමයි අපිට ජීවිතයේ සියලු ප්‍රශ්න විසඳා ගන්න යන්න තියෙන තැන.

ඒ සඳහා මුලින්ම, රුවන්වැලි සෑය පිළිබඳ කතාව අපි දැනගන්න ඕනේ. මහාවංශය කියවගෙන යද්දී අපිට රුවන්වැලි මහාසෑය පිළිබඳ තොරතුරු දැනගන්න ලැබෙනවා. ඒ විස්තර හොඳින් කියවා බලා මහාසෑය පිළිබඳ අවබෝධයක් අපි මුලින්ම ලබාගන්න ඕනේ…

රුවන්වැලි මහාසෑය කියන්නේ අපේ ජාතියේ සියලුම අපලවලට සෙත් ශාන්තිය තියෙන තැන. අපිට එදිනෙදා ජීවිතයේ එන සියලු ප්‍රශ්නවලට විසඳුම් ලබා දීලා ශාන්තිය උදා කරන තැන. මහා සෑ රජුන්ගේ ශාන්තිය කොයිතරම් ද කිව්වොත් අපේ ජාතියට දියුණුවෙන්න වෙන දෙයක් කළ යුතු නැහැ. රුවන්වැලි මහා සෑය වඳින එකම ඇති. පවුලේ ප්‍රීතිය, තමන්ගේ දියුණුව සඳහා සිංහල අපිට තියෙන හොඳම පිහිට තිසරණය මත පිහිටා රුවන්වැලි මහා සෑය වන්දනා කිරීමයි.

ලබන සතියේ…
එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න, ගැටලු ජයගන්න රුවන්වැලි මහා සෑය වන්දනා කළ යුත්තේ කොහොමද…?

(උපුටා ගැනීම :- දිවයින පුවත්පත)

සාකච්ඡා කළේ – මනෝජ් අබයදීර