නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් – 26

නිරවුල් මනසක් සවිමත් ජාතියක්…

ප්‍රශ්නයක් විග්‍රහ කර ගැනීමට ඇති නොහැකියාව ජාතියේ අලසකම සමඟ බැඳී පවතී. නිරවුල් නොවන මනස් විසින් ගන්නා තීන්දු තීරණ විසින් අවසානයේ අවුල් කරන්නේ සමස්ත ජාතිය ම ය. නිරවුල් මනස පිළිබඳව බුදු දහමේ පිළිවෙත ජාතියට වැදගත් වන්නේ ඒ අර්ථයෙනි. පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් වදාරන මෙම දේශනාව නිරවුල් මනසින් ලෝකය දැකීම සඳහා මඟ දැක්මකි.

අරුත දැන ඉවසීමෙන් වැඩිය යුතු සමාධිය, වීර්යය ගැන අපි හරියටම තේරුම් ගන්න ඕන. අපි හිතමු, කෙනෙකුට සමාධියක් වැඩෙනවා. නමුත් එයා ඒ සමාධිය පවත්වන්න ඕන කියලා බලවත්ව වීරිය කළොත් ඒක ආයෙමත් විසිරීමට පත්වෙන්න පුළුවන්. ඒ වගේම සමාධියක් වැඩුණට පස්සේ වීරිය නැතුව ඒ සමාධිය පවත්වන්න ගියොත් සමාධිය සැඟවෙනවා. එහෙම නම් අපට පේනවා, ඒකට යම් කිසි දක්ෂතාවක් තියෙන්න ඕන. ඒ තමයි, ඒ ඒ අවස්ථාවල දී මනස හසුරුවන්න ඕන රටාව තමන්ට හසුවෙන්න ඕන. ඒ විදිහට මනස හසුරුවන්න ඕන රටාව තමන්ට හසුවෙන්නේ පින් බලයෙන්. අපි ගත්තොත්, කෙනෙක් භාවනා කරගෙන ගිහිල්ලා සමාධියක් ඇති කර ගන්නවා කියමු. නමුත් ඒ කෙනා ඒ සමාධියට රුකුල් දෙන මට්ටමින් වීරිය පවත්වන්න දක්ෂ වුණේ නැත්නම් එයාට ඒ සමාධිය දියුණු කරගන්න ලැබෙන්නේ නෑ.

සමහර අය භාවනා කරගෙන යද්දී සමාධියක් ඇති වෙනවා. හැබැයි සමාධියක් ඇති වුණාට අරමුණ හැංගෙනවා. අරමුණ හැංගෙනවා කියලා කියන්නේ භාවනා කරගෙන යනකොට සමාධි නිමිත්තක් තියෙනවානේ. සමාධි නිමිත්ත කියලා කියන්නේ, ආනාපානසතියේ දී ආශ්වාස ප්‍රාශ්වාසය තමයි නිමිත්ත. සමහර කෙනෙකුට මේ ආශ්වාස, ප්‍රාශ්වාසය මුල් කර ගෙන සමථ නිමිත්තක් ඇති වෙනවා. ඒ සමථ නිමිත්ත ඇති වෙන්න නම් සමාධිය ගොඩක් බලවත් විය යුතු යි. ඒ විදිහට සමථ නිමිත්තේ හිත පිහිටපු ගමන් එයාට නීවරණ ධර්මයන්ගේ බලපෑම නෑ. ඒකයි ගොඩක් අය සමථ නිමිත්තට හිත පිහිටුවන්න කියලා කියන්නේ. ඒ කියන එකට සාධාරණ පදනමක් තියෙනවා.

මට එක ස්වාමීන් වහන්සේ නමක් හම්බ වුණා. උන්වහන්සේ ආනාපානසතිය කර ගෙන යන කොට පුන්සඳ වගේ නිමිත්තක් ආවා. නමුත් උන්වහන්සේ මේ පුන්සඳ වගේ නිමිත්ත එනකොටත් ආනාපානසතිය ම මෙනෙහි කර කර බැලුවා. ආනාපානසතිය මෙනෙහි කරමින් ඒක බලන කොට උන්වහන්සේගේ මෙනෙහි කිරීම එතැන ම පැවතුණා. ඒ විදිහට පැවතුණු නිසා සමාධිය වඩවාගෙන ගියා. නමුත් බැරි වෙලාවත් ආනාපානසතියෙන් ඉවත්වෙලා එතැනට ගියා නම් ඒක පිරිහෙනවා. ආනාපානසතිය තුළ සිහිය ඉපදීමෙන් තමයි ඒක ඇති වුණේ. නමුත් බොහෝ දෙනෙක් සමාධිය පවත්වන්න තියෙන ආශාවට ඉක්මනට මේ අරමුණ අත්හැරලා ඒ අරමුණ අල්ලගන්න බලනවා. ඒ අරමුණ අල්ලගන්න දරන මානසික වෑයම හරි විදිහට නො කළොත් හිත උද්ධච්චයට පත්වෙනවා. හිත සැලෙනවා. හිත සැළුණු ගමන් සමාධිය බිඳෙනවා.

අපි අසුභ භාවනාව වඩන කෙනෙක් ගැන ගනිමු. අසුභ භාවනාව වඩන කෙනෙකුගේ නිමිත්ත තනිකර ම අසුභ නිමිත්තක් නේ. අසුභ නිමිත්ත එන්නේ නැත්නම් එයාට ඒ අසුභ භාවනාව ප්‍රකට වෙන්නේ නෑ. එයාට ඒක හිතට හොඳට මැවිලා පේන්න ඕන. ආනාපානසතියේ දී සමහර අයට මේ ප්‍රශ්නය වෙනවා. ඒ කියන්නේ ආනාපානසතිය මනසිකාර කර ගෙන යනකොට ආනාපානසතිය සියුම් වෙනවා. ආනාපානසතිය සියුම් වෙලා ආශ්වාස, ප්‍රශ්වාස නැත්තට නැතිවුණා වගේ වෙනවා. ඒ විදිහට ආශ්වාස, ප්‍රශ්වාස නොදැනී ගියාම සමහර කෙනෙක් “දැන් මං මොකක්ද කරන්නේ?” කියලා කල්පනා කරනවා. අපි මෙනෙහි කරන්න ඕන එහෙම නෙවෙයි. ආශ්වාස ප්‍රශ්වාස නොදැනී ගියත් එයා “ආශ්වාසයක්.. ප්‍රාශ්වාසයක්..” කියලා මෙනෙහි කරන්න ඕන. ඒ විදිහට “ආශ්වාසයක්.. ප්‍රශ්වාසයක්..” කියලා මෙනෙහි කරනවා මිසක් එයා හයියෙන් හුස්ම ගන්න යන්න ඕන නෑ. එයාට ආශ්වාස, ප්‍රශ්වාස තේරෙන්නේ ම නෑ කියමු. නමුත් හිත විසිරිලත් නෑ. ඒ වෙලාවට එයා කළ යුත්තේ “ආශ්වාසයක්.. ප්‍රශ්වාසයක්..” කියලා ඒක ම මෙනෙහි කරමින් සිටීම යි. ඒ විදිහට “ආශ්වාසයක්.. ප්‍රශ්වාසයක්..” කියලා මෙනෙහි කරමින් ඉන්න කොට නැවතත් සියුම් විදිහට මෙයාට ඒක අහුවෙනවා. ඒ සියුම් විදිහට අහුවෙන්නේ චිත්ත ඒකාග්‍රතාවකට උදව් කරමින්. ඒ සඳහා එයාට ගොඩාක් වුවමනා වෙන එකක් තමයි ඉවසීම. ඉවසන්නේ නැතුව මේක ඉක්මනට ග්‍රහණය කර ගන්න ඕන කියලා දැඟලුවාට හරියන්නේ නෑ. සමහර අවස්ථාවල දී මේ සිත හරි සියුම්. සමහර අවස්ථාවල අපට පොඩි දරුවෙක් දිහා වගේ සිත දිහා බලන්න සිදු වෙන අවස්ථා තියෙනවා. එතකොට අපි ඒ විදිහට කරන්න ඕන. නමුත් අපි හැම තිස්සේ ම පුරුදු වෙලා තියෙන්නේ වේගයෙන් අල්ල ගන්නනේ.

මායාකාරී සිතත් සමඟ ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. සමාධියක් ඇති කර ගන්න කැමති කෙනෙකුට ඉවසීමෙන් තමයි ඒක කරන්න තියෙන්නේ. ඒ විදිහට කරද්දී සමාධිය දියුණු වෙනවා. හැබැයි සමාධියක් දියුණුවීමේදී අපි හොඳ කල්පනාවකින් ඉන්න ඕන. ඒ කියන්නේ මේ ධර්මයේ හරය සමාධිය නෙවෙයි. ඒ වගේ ම හරය විදර්ශනාවත් නෙවෙයි. අපි යථාභූත ඤාණයට යන්න ඕන. යථාභූත ඤාණයට ගිහිල්ලා ඒ තුළින් නිබ්බිදා, විරාග, නිරෝධ වශයෙන් උපදවා ගන්නා විමුක්තිය තමයි මේ ධර්මයේ හරය. අපි කියමු කෙනෙකුට සමාධිය ඇති වෙනවා කියලා. සමාධියක් ඇති වෙන්න නම් ඒ කෙනාට වීරිය තියෙන්න ඕන. ඒ කියන්නේ තමන්ගේම මානසික ස්වභාවය වීරියෙන් පාලනය කරමින් තමයි, සිහිනුවණ උපද්දවන්න තියෙන්නේ. ඒ විදිහට සිහි නුවණ උපද්දවා ගෙන වීරියෙන් පාලනය කරමින් ඉන්න කොට සමහර අවස්ථාවල මනස තමන්ගේ යම් කිසි අධිෂ්ඨානයට පාලනය වීමක් තියෙනවා. නමුත් මේ මනසේ තියෙන්නේ මායාකාරී ස්වභාවයක්නේ. ඒ නිසා මායාකාරී සිත අධිෂ්ඨානයට වුවමනා දේ මවලා දෙනවා. ඒ විදිහට මවලා දීපු ගමන් අපි අමාරුවේ වැටෙනවා.

මට ඒ විදිහට අමාරුවේ වැටුණු කෙනෙක් හම්බ වුණා. මං ඒ කාලයේ හිටියේ කළුගල ආරණ්‍යයේ. මට උපාසක මහත්මයෙක් හම්බ වුණා. ඒ උපාසක මහත්මයා දවස ම හොඳට භාවනා කරගෙන ඉන්නවා. ඉතින් මං මේ උපාසක මහත්මයා ගැන පැහැදුණා. කතා කරලා බලපුවාම වනාන්තරයක ගල් ලෙනක භාවනා කරපු ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ දවසක් හොඳට භාවනා කරමින් ඉඳලා. මං හිතන්නේ උන්වහන්සේ භාවනාවට වඩලා තියෙන්නේ කසිණ. කසිණ තනිකරම අල්ලන්නේ නිමිත්තනේ. අපට සතර සතිපට්ඨානය තුළ උගන්වා තියෙන එකට වඩා යම්කිසි අනතුරක් මම නම් ඒකේ දකිනවා. නමුත් වාසනා මහිමය තියෙන කෙනා ඒකෙනුත් බේරෙනවා. ඔන්න උන්වහන්සේ දවසක් භාවනා කරද්දී ආලෝක සඤ්ඤාව ආවා. ඒ විදිහට ආලෝක සඤ්ඤාව වඩමින් ඉන්නකොට උන්වහන්සේට “මට බුදුරජාණන් වහන්සේව දකින්න ඕන” කියලා හිතුණා. දැක්කනේ මේ හිතේ ස්වභාවය? අපි හොයන්නේ යමක් ද ඒ පාර මගදී වෙනස් කරනවා. උන්වහන්සේ ඒක විදර්ශනාව පැත්තට හරව ගත්තා නම් බේරගන්න තිබුණා. මොකද, සමාධියත් වැඩිලානේ තියෙන්නේ. සමාධිය වැඩුණු වෙලාවට හිත දමනය වෙලා තමාගේ වසඟයේ තිබුණට හිතේ ස්වභාවය වෙනස් වෙන්නේ නෑනේ. හිතේ ස්වභාවය මායාකාරී ම යි.

ඉතින් මෙයාට “දැන් මට බුදුරජාණන් වහන්සේ ව දකින්න ඕන” කියලා හිතිලා අර සමාධිය තුළ බුදු ගුණ මෙනෙහි කරන්න ගත්තා. දැන් ටික ටික බුද්ධ රූපය පේනවා. ඔන්න මේ ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේව පෙනුණා. දැන් මෙයාගේ හිතේ බොහෝම ප්‍රිය ගතියක්, බොහෝම ශ්‍රද්ධාවක් ඇති වුණා. නමුත් බලන්න, හිත දෙකට බෙදුණා. අපේ සාමාන්‍ය හිතෙත් දෙකට බෙදිල්ලක් තියෙනවා. ඒ කියන්නේ අපි කියමු, කවුරුහරි අපට ප්‍රශංසා කළා. එක්කෝ කවුරු හරි බැන්නා. අපට ඒක ආයෙමත් මතක් කරන්න පුළුවන්නේ. ඒ විදිහට මතක් වෙන්නේ අපේ හිතේ බැණපු එක්කෙනා පිළිබඳව සඤ්ඤාවක් මැවෙනවා. ඒ වගේ ම අපි එයා කියපු වචන හිතින් හිතනවා. එතකොට අපි වෙනමත් හිතනවා, එයා කියපු එකත් හිතනවා. මේක ම සමාධියේදීත් ඇති වෙනවා. ඉතින් මෙයා “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මට අවවාද කරන්න” කියලා කිව්වා. සමහර විට මෙයා දන්නේ නෑ, ඒ අවස්ථාවේ මෙයාගේ හිතේ තිබුණු මොකක් හරි සැකයක් ආවා. ඒ නිසා සමාධියෙන් පෙනුණු බුදුරජාණන් වහන්සේ කියනවා “මේ කාලයේ පිරිසිදු පැවිද්දක් නෑ, ඒ නිසා සිවුරු අරින්න” කියලා. බලන්න සිතේ මායාවට හසුවෙලා යන තාලය. අනේ ඉතින් මේ ස්වාමීන් වහන්සේ සිවුරු ඇරියා. සිවුරු ඇරලා උපාසකයෙක් වෙලා දැන් ඉතින් පොඩි තැටියක් අරගෙන පිණ්ඩපාතයේ යනවා. තවමත් භාවනා කරනවා. ඉතින් මමත් එක්ක මේ විස්තරය කිව්වා. මං කිව්වා “මේක මනසේ ඇති වූ මායාවක්” කියලා. ඒ කාලයේ මට වුණත් එච්චර විස්තර කරලා කියා දෙන්න තේරුමක් නෑ. හැබැයි මට තේරුණා මෙතැන වරදක් වුණා කියලා. නමුත් වරද විග්‍රහ කරගන්න ලොකු දහම් දැනුමක් ඒ කාලයේ මට තිබුණේ නෑ. දැන් තමයි තේරෙන්නේ මෙන්න මේකයි එතැන සිද්ධ වුණේ කියලා. ඒ නිසා හිතේ මේ බෙදිල්ල හරියට තේරුම් ගත්තේ නැත්නම් අපට වරදිනවා. සමහර අවස්ථාවල් තියෙනවා, අපට අපේ හිතෙන්ම කෙනෙක් කතා කරනවා වගේ ඇහෙනවා. නමුත් ඒ ශබ්දය එන්නේ හිතෙන්. ඉතින් ඒ වගේ මේ හිත බෙදෙන අවස්ථාවල් ඕන තරම් එන්න පුළුවන්.

දවසක් බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා,

“ස්වාමීනී, මේ ශාසනයේ ඔබ වහන්සේලාට තියෙන අමාරුම දේ මොකක් ද?” කියලා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාළා, “බ්‍රාහ්මණය, මේ ශාසනයේ අමාරු ම දෙයක් තමයි ගිහි ජීවිතය අත්හැරලා පැවිදි වෙන එක.” ඊට පස්සේ අහනවා, “ස්වාමීනී, පැවිදි වුණු කෙනෙකුට තියෙන අමාරු ම දේ මොකක් ද?” “පැවිදි වුණු කෙනෙකුට තියෙන අමාරු ම දේ තමයි පැවිද්දේ සිත් අලවාගෙන වාසය කිරීම.” “ස්වාමීනී, පැවිද්දේ සිත් අලවාගෙන සිටින කෙනෙකුට තියෙන අමාරු ම දේ මොකක් ද?” “පැවිද්දේ සිත් අලවාගෙන සිටින කෙනෙකුට තියෙන අමාරු ම දේ තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදෙන එක.” ඊළඟට මෙයා අහනවා, “ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් ඉන්න කෙනාට තියෙන අමාරු ම දේ මොකක් ද?” කියලා. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා, “බ්‍රාහ්මණය, යමෙක් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ සිටී ද හේ නොබෝ කලකින් අරහත්වයට පත්වේ” කියලා. බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උත්තරය. ඒ නිසා මෙවැනි බුද්ධ දේශනා හොඳට හැදෑරීමෙන් අපට ලැබෙන වාසිය තමයි අපි ප්‍රශ්නයක් කරා යන්නේ නෑ.

නැත්නම් අපි ඔය භවාංග චිත්තය කියන්නේ යටි හිත ද කියලා අරක මේක පටලවාගෙන පැටලිලා යනවා. ඊට පස්සේ තව කෙනෙක් කියනවා, “මගේ මතය අනුව නම් සිත තියෙන්නේ මෙතැනයි කියලා. ඔන්න තව කෙනෙක් කියනවා “මගේ මතය අනුව නම් මෙතැනයි තියෙන්නේ” කියලා. තව කෙනෙක් කියනවා “අසවල් පොතේ මෙහෙමයි තියෙන්නේ” කියලා. අන්තිමට වෙලා තියෙන්නේ අපි ඔක්කොම එකතුවෙලා වාදයක් හදාගෙන. වෙන මොකුත් ලැබීමක් නෑ. අන්තිමට අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට යන්න තියෙන අවස්ථාව පවා නැති වෙනවා. “අපි මේ ධර්මය කියනවා.. කියනවා.. ඒත් ඇයි අපි තාමත් වනන්තරේ..“ කිය කියා අපි ම ප්‍රශ්න අහනවානේ. ඒකට හේතුව තමයි, එක්කෝ කියපු ක්‍රමය වැරදියි. එක්කෝ අහපු ක්‍රමය වැරදියි. හරි ක්‍රමයට කිව්වා නම්, හරි ක්‍රමයට ම ඇහුවා නම් වනාන්තරයට යන්න විදිහක් නෑ. එහෙම නම් ධර්මයට ම යන්න ඕන. එහෙම නම් අපි කතා කරන මාතෘකාව තමාටත් හිතසුව පිණිස, අන් අයටත් හිත සුව පිණිස වෙන්න ඕන.

බුදුරජාණන් වහන්සේ ඉස්සර වෙලා ම භික්ෂූන් වහන්සේලාට ධර්ම දේශනා කරන්න වඩින්න කලින් වචන කිහිපයක අවවාදයක් කරනවා. බුදුරජාණන් වහන්සේ හැටනමක් රහතන් වහන්සේලාට දේශනා කළා, “මහණෙනි”, දිව්‍ය වූ ද මානුෂීය වූ ද යම්තාක් බන්ධන ඇද්ද ඒ සියල්ලෙන් මම නිදහස් වුණා. ඒ වගේ ම දිව්‍ය වූ ද මානුෂීය වූ ද යම්තාක් බන්ධන ඇද්ද ඒ සියල්ලෙන් ම ඔබත් නිදහස් වුණා. මහණෙනි, ඒ නිසා බොහෝ දෙනාගේ යහපත පිණිස මේ ධර්මය දේශනා කරන්න” කියලා. ඒ කියන්නේ මේ ධර්මය දිව්‍ය, වූ ද මානුෂීය වූ ද බන්ධනවලින් නිදහස් කරනවා.

ධම්ම නියාමය පිළිබඳ බුද්ධානුශාසනාව

ධම්ම නියාම ගැන දේශනාවේ තියෙන්නේ ම පටිච්චසමුප්පාදය. (ධම්මට්ඨති ධම්මනියාමතා ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදෝ) එහෙමයි ධර්මයේ තියෙන්නේ. ඒ නිසා අපි පටිච්චසමුප්පාදය තමයි බොහොම ඉවසීමෙන්, ඒ වගේ ම වීමංසනයෙන් තේරුම් බේරුම් කර ගත යුත්තේ. මොකද අපට ධර්ම මාර්ගයේ යන්න, විදර්ශනා ඤාණය ඇති කර ගන්න, යෝනිසෝ මනසිකාරය දියුණු කරගන්න පටිච්චසමුප්පාදය හේතු වෙනවා. යමෙක් හරි විදිහට පටිච්චසමුප්පාදය නුවණින් මෙනෙහි කළොත් එයා සත්පුරුෂයෙක් වෙනවා. යමෙකුට පටිච්චසමුප්පාදය තේරුණොත් එයාට කවදාවත් අසත්පුරුෂකම් කරන්න බෑ. එයාට කෙළෙහිගුණ පිහිටනවා. ඊළඟට පින් පව් විශ්වාස කරනවා. කර්ම, කර්මඵල විශ්වාස කරනවා. එයා සියලු දෙනාට ම යහපත සලසනවා. එයා තමන්ගේ වචනයකින් අනිත් අයට අයහපතක් වෙන්න දෙන්නේ නෑ. ඒ වගේ ම එයා කවදාවත් අන් අයගේ යහපතට හානිකර දෙයක් කරන්නේ නෑ. ඒකට හේතුව පටිච්චසමුප්පාදය පිළිබඳ තියෙන දැනුමයි.

ඒ නිසා පටිච්චසමුප්පාදය පිළිබඳ තියෙන සැබෑ අවබෝධය පුද්ගලයෙකු සත්පුරුෂයෙක් බවට පත් කරනවා. චතුරාර්ය සත්‍යාවබෝධය කරා යන්නේ එයයි. යමෙකුට පටිච්චසමුප්පාදය හරියට තේරුණොත් එයා ඊට පස්සේ හේතුත්, ඵලත් අතර තියෙන සම්බන්ධතාව නිරවුල් කරගන්නවා. ඒක තමයි එයා සිදුකරන ධම්ම නියාමය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “මහණෙනි, ඒක තථාගතයන් වහන්සේ පහළ වුණත්, නැතත් තියෙන එකක්“ කියලා. ඒ කියන්නේ නියාම ධර්මයක්. ධර්මය වගේ ම යි. තථාගතයන් වහන්සේ පහළ වුණත් නැතත් පටිච්චසමුප්පාදය තියෙනවා. තථාගතයන් වහන්සේ කරන්නේ ඒක ගුරු උපදේශ රහිතව අවබෝධ කරලා, උන්වහන්සේගේ තියෙන බුද්ධ ඤාණ තුළ පිහිටලා ලෝකයාට අවබෝධ කරගත හැකි ආකාරයට කියා දෙන එකයි. ඉන් පස්සේ ලෝකයා තම තමන්ගේ ශක්තිප්‍රමාණයෙන් ඒක අවබෝධ කර ගන්නවා. ඊට පස්සේ සතර අපායට වැටෙන සත්වයා සතර අපායෙන් නිදහස් වෙනවා. භවයෙන් භවයට අන්ත අසරණව යන සත්වයා ඒක තේරුම් අරගෙන ඒ භවයෙන් අත්මිදෙනවා. සුගතියට යනවා.

බුදුරජාණන් වහන්සේ එක තැනක දී දේශනා කරනවා “මහණෙනි, යම්තාක් ධර්ම කතාව ඇද්ද, යම්තාක් ධර්ම සාකච්ඡා ඇද්ද, මේ සියල්ල තියෙන්නේ එකම එක දෙයක් වෙනුවෙන්. ඒ තමයි (අනුපාදා චේතෝ විමුත්ති) කිසිවක් අල්ලා නොගෙන සියලු දුකෙන් නිදහස් වීම පිණිසයි” කියලා.

එතකොට බලන්න, මේ කොච්චර සුන්දර ධර්මයක් ද? මේ කොච්චර අලංකාර ධර්මයක් ද? කොච්චර පරම සත්‍ය වූ ධර්මයක් ද? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනකොට නුවණැති මනුෂ්‍යයාගේ සිතට හරි ප්‍රීතියක්, සැපයක් ඇති වෙනවා. මට මතකයි, සමහර දවස්වලට මම සූත්‍ර කියවද්දී ඇති වෙන සන්තෝෂය දවස් දෙක, තුන තියෙනවා. ඒක හරි පුදුමයි. ඒක වෙනත් පොත් කියෙව්වාට ලැබෙන්නේ නෑ. අනිත් පොත් කියෙව්වොත් හටගන්නේ ප්‍රශ්නයක් ම යි. මොකද සමහර විට එකකට එකක් පරස්පර විරෝධී වෙනවානේ. නමුත් බුද්ධ දේශනාවේ එහෙම මොකවත් නෑ. හැම තිස්සේ ම එකකට එකක් ගැළපි ගැළපී යනවා.

(උපුටා ගැනීම :- දිවයින පුවත්පත)

සාකච්ඡා කළේ – මනෝජ් අබයදීර