“ධම්මෝ හි වාසෙට්ඨා, සෙට්ඨෝ ජනේතස්මිං
දිට්ඨේ චේව ධම්මේ, අභිසම්පරායේ ච”
‘වාසෙට්ඨයෙනි, මෙලොවත් පරලොවත් ජනයා අතර ධර්මයම යි ශ්‍රේෂ්ඨ වන්නේ.
(භාග්‍යවතුන් වහන්සේ)
සමාහිත සිත් ඇති ශාක්‍ය මුනීන්ද්ර වූ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කළ කෙලෙස් නසන, විරාගී බව උපදවාලන, අමා නිවනට මග කියා දෙන මේ ශ්‍රේෂ්ඨ වූ ශ්‍රී සද්ධර්මයට සම කළ හැකි කිසිවක් මේ තුන් ලෝකයේම නැහැ. දෙසවනින් අසනා දේවල් අතර සවණානුත්තරිය වූ ශ්‍රී සද්ධර්මය ඇසීමමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. සිතින් සිතනා දේවල් අතර අනුස්සතානුත්තරිය වූ ශ්‍රී සද්ධර්මය ගැන සිතීමමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. හික්මෙන දේවල් අතර සික්ඛානුත්තරිය වූ ශ්‍රී සද්ධර්මයට අනුව හික්මීම ම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ.
මේ ශ්‍රී සද්ධර්මයට අනුව හික්මීමෙනුයි ලෝකයට රහතන් වහන්සේලා බිහිවුණේ. අනාගාමී, සකදාගාමී, සෝතාපන්න ආදී මාර්ගඵල ලාභී උතුමන් බිහිවුණෙත් මේ අනුත්තරිය වූ ශ්‍රී සද්ධර්මය නිසාමයි. අද අපි පොත් පත් වලින් ඉගෙන ගන්න, කියවන දේවල් අතරේත් මේ උතුම් ධර්මය කියවනවා නම්, ඉගෙන ගන්නවා නම් ඒකමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. මොකද, මේ ධර්මය තරම් රසවත් තවත් දෙයක් මේ ලෝකයේ ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා, කතාබස් කරන දාහක් හරසුන් වචන වලට වඩා ජීවිතාවබෝධය ඇති කරන එකම එක දහම් පදයක් කතා කිරීමත් ශ්‍රේෂ්ඨයි කියලා.
ඉතින් අපි හැම දෙනාටම අසන්නට, කියවන්නට, ඉගෙන ගන්නට, කතා කරන්නට ලැබුණේ ඒ වගේ අමිල වූ ධර්මයක්. අපි ලැබූ මනුෂ්‍ය ජීවිතයත් දුර්ලභයි. මේ ශ්‍රී සද්ධර්මය මුණගැසීම ඊටත් වඩා දුර්ලභයි. ආහාරපාන, ඇඳුම් පැළඳුම්, ගේ දොර, යාන වාහන, ඥාති හිත මිතුරන් කොයිතරම් ලැබුණත් ඒවායින් අපට හැබෑම සැපයක් උදාකරලා දෙන්නේ නැහැ. නමුත් ධර්මය විසින් අපේ මුළු ජීවිතය ම වාසනාවන්ත කරලා දෙනවා…..
මේ සද්ධර්මය මුණ ගැසුනාම කෙනෙකුට පුළුවනි,
ඔව්! ශ්‍රී සද්ධර්මය නම් වූ එකම එක දෙය මුණ ගැසීමෙන් ජීවිතයකට සැලසෙන යහපත අප්‍රමාණයි. ඒ නිසාමයි මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක භික්ෂූන් අමතා මේ විදිහට දේශනා කළේ,
“පින්වත් මහණෙනි, චාරිකාවේ හැසිරෙන්න. දෙදෙනෙකු එක මග නොගොස් මේ උතුම් සද්ධර්මය දේශනා කරන්න. ආරම්භයත් සුන්දර වූ, මැදත් සුන්දර වූ, අවසානයත් සුන්දර වූ, පැහැදිලි අර්ථ සහිත, පැහැදිලි ව්‍යඤ්ජන සහිත, මුළුමනින්ම පිරිපුන් නිවන් මග ප්‍රකාශ කරන්න.”
ඒ උතුම් අනුශාසනාව සිහි කරමින් 2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන ‘ගෞතම බුදුරජුන්ගේ සාම සන්දේශය’ පැතිරවීම පිණිස අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පූර්ණ ආශීර්වාදය මත සදහම් ග්රන්ථ පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙළක් මහමෙව්නාව භාවනා අසපු සංචිතය විසින් ආරම්භ කරන්නට යෙදුනා. ඒ යටතේ බොහෝ දෙනෙකුට ධර්මය ඉගෙන ගැනීමේ හැකියාව ලැබෙන පරිදි දිවයිනේ නොයෙක් ප්‍රදේශ වල පිහිටි විහාරස්ථාන, දහම් පාසල්, පාසල්, රාජ්‍ය ආයතන, හමුදා කඳවුරු, පුස්තකාල, ප්‍රජා ආයතන රැසකට සදහම් පොත් කට්ටල් 1000 කටත් අධික ප්‍රමාණයක් මේ වනවිටත් පූජා කොට අවසන්. මේ උතුම් ධර්ම දානය සඳහා නන් අයුරින් දායක වූ සියලු පින්වතුන්ට දහම් ඇස පහළ වීම පිණිස මේ පින හේතු වේවා!
සැබැවින්ම අන් අයගේ සැපය කැමැත්තෙන් අපි දන් දිය යුත්තේත්, අන් අය කෙරෙහි සෙනෙහසින් බෙදා දිය යුත්තේත් ශ්‍රී සද්ධර්මය යි. අන් අය කෙරෙහි අනුකම්පාවෙන් කළයුතු අනුග්‍රහයත් ධර්මයෙන් කරනු ලබන අනුග්‍රහය යි. යමෙක් අන් අයට ධර්මය ලබා දීම පිණිස කටයුතු කරනවා නම් ඔහු අමෘතය දන් දෙන කෙනෙක් කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ.
“පින්වත් මහණෙනි, මේ දාන දෙකක් තියෙනවා. ඒ තමයි, ආමිස දානයත්, ධර්ම දානයත්. පින්වත් මහණෙනි, මේ දාන දෙක අතරින් ධර්ම දානය තමයි අග්‍ර වෙන්නේ.
පින්වත් මහණෙනි, මේ බෙදා හදා ගැනීම් දෙකක් තියෙනවා. ඒ තමයි, ආමිසය බෙදා හදා ගැනීමත්, ධර්මය බෙදා හදා ගැනීමත්. පින්වත් මහණෙනි, මේ බෙදා හදා ගැනීම් දෙක අතරින් අග්‍ර වෙන්නේ ධර්මය බෙදා හදා ගැනීමයි.
පින්වත් මහණෙනි, අනුග්රහයනුත් දෙකක් තියෙනවා. ඒ තමයි, ආමිසයෙන් කරන අනුග්‍රහයත්, ධර්මයෙන් කරන අනුග්‍රහයත්. පින්වත් මහණෙනි, මේ අනුග්රහයන් දෙක අතරින් අග්‍ර වෙන්නේ ධර්මයෙන් කරන අනුග්‍රහයම යි” (බ්‍රාහ්මණ සූත්‍රය – ඉතිවුත්තක පාළි – ඛුද්දක නිකාය – 01)
ඉතින් මහමෙව්නාව භාවනා අසපු සංචිතය විසින් සිදු කරන මේ උතුම් ධර්ම දානමය පින් කමට හැකි පමණින් දායක වී පින් රැස් කර ගන්නට ඔබටත් පුළුවනි. අපි වගේ ම දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබා එහෙත් මේ උතුම් ශ්‍රී සද්ධර්මය කියවන්නට ඉගෙන ගන්නට නොලැබුණු කොයිතරම් නම් පිරිසක් ඇද්ද? ඒ අයටත් මේ ධර්මය ලැබුණොත් ඒ ජීවිතත් සුවපත් කරගන්නට හැකි වේවි!
“සබ්බ දානං ධම්ම දානං ජිනාති”
‘හැම දන් පරදවා ධර්ම දානය ම ජය ගනී’
(භාග්‍යවතුන් වහන්සේ)