අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017 අගෝස්තු මස 19 වන දින උයන්දන මහමෙව්නාව භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනාවකි.

පින්වත්නි, අපි සියලු දෙනා ම මේ සංසාර ගමනේ යන්නේ අනියත උප්පත්ති ඇති අය හැටියටයි. අනියත උප්පත්ති කියලා කියන්නේ නියත වශයෙන් ම කොහේ උපදියි ද කියලා මැරුණට පස්සේ කියාගන්ට බැරි අය. ඒකේ තේරුම තමයි අපි මැරුණට පස්සේ කර්මානුරූපව සමහරවිට පෙර ආත්මෙක කර්මයක් මතුවෙලා නිරයේ යන්න පුළුවන්. පෙර ආත්මේ කර්මයක් මතුවෙලා තිරිසන් අපායේ උපදින්නත් පුළුවන්. ප්‍රේත ලෝකයේ උපදින්නත් පුළුවන්. අසුර ලෝකේ උපදින්නත් පුළුවන්. මොකක්හරි පිනක් ඉස්මතු වෙලා ආයෙ මනුස්ස ලෝකේ එන්නත් පුළුවන්. දිව්‍ය ලෝකෙක යන්ටත් ඉඩ තියෙනවා. එතකොට ඒ එකක්වත් ස්ථීරවම කියන්න බෑ. අපි කියන්නේ not sure කියලා. ඒක තමයි සංසාරේ යන අයගේ ඉරණම. නියත වශයෙන්ම කියලා කියන්නේ ස්ථිරවම වෙන දේ. සෝවාන් වෙච්ච අය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා නියත වශයෙන්ම සතර අපායේ යන්නේ නෑ. සකදාගාමී වෙච්ච අයත් සතර අපායෙන් නිදහස්. අනාගාමී අයත් සතර අපායෙන් නිදහස්. රහතන් වහන්සේලා සියලු උප්පත්තිවලින් නිදහස්. අනිත් සියලු දෙනා නොට් ෂුවර්. ඒ නිසා අපිට අපේ ජීවිතය සම්බන්ධයෙන් කයිවාරු ගහන එක පලක් නෑ. මම නම් පින් කරගත්තා. මම නම් හොඳ ලෝකෙක යන්නේ. ඒවා ඔක්කොම අපි හිතෙන් මවාගන්න දේවල්……