පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2008 – 01 – 20 දින කඩුවෙල මහමෙව්නාව බෝධිඥාන අසපුවේදී පවත්වන්නට යෙදුනු ධර්ම දේශනාවකි.

මේ සියලූ දෙනාම අද පැමිණුනේ බොහොම ශ‍්‍රද්ධාවකින්. මේ පින්වතුන් මෙහි පැමිණිලා බලාපොරොත්තුවෙන් ඉන්නේ එක දෙයක්. එ් තමයි අපේ ශාස්තෘන් වහන්සේ වන එ් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් වදාළ දහම් පදයක් අද අපිට අහන්න ඇත්නම් හොඳයි කියන කාරණාව.

අපට ලැබුණු ලොකුම ලාභය අපි මේ ඉපදී සිටින කාලය ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය මතු වූ කාලයක් වීමයි. එතකොට එ්කෙ තව අර්ථයක් තියෙනවා. එ් තමයි ධර්මය යටපත් වූ කාලයකුත් තිබුණා කියලා.

ධර්මය යටපත් වුණ කාලවලදී මිනිසුන්ට කරන්න තියෙන්නේ තියෙන දෙයක් කාලා බීලා වැටකඩුලූවලට මිනී මරාගෙන, ජාති ජාතිත් පළිගන්නවා කියලා බලාපොරොත්තු තියාගෙන, එහෙම නැත්නම් ආයෙමත් අපි එකම පවුලේ අය විදිහට ඉපදෙමු කියලා බලාපොරොත්තු තියාගෙන, මැරිලා සතර අපායේ යන එක.

යම් සමාජයක බුද්ධ ශාසනය නැත්නම්, ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙන්නේ නැත්නම්, එ් සමාජයට කුසල් අඳුනාගන්න බැරිව යනවා. අකුසල් අඳුනාගන්නත් බැරිව යනවා. කුසල් වඩන හැටි දන්නෙත් නෑ. අකුසල් දුරුකරන හැටි දන්නෙත් නෑ. එතකොට ශාසනය පිරිහුණාම පව්කරන එක්කෙනා පව් කරනවා. ශාසනය පිරිහෙන කාලවලදී දිව්‍ය ලෝක හිස් වෙනවා. ශාසනය පිරිහෙන කාලවලදී පිරෙන්නේ අපාය. එහෙනම් ලෝකයේ වැඩියෙන් තියෙන්නේ දිව්‍ය ලෝක පිරෙන කාලද? අපාය පිරෙන කාලද? අපාය පිරෙන කාල තමයි මේ ලෝකයේ වැඩිපුරම තියෙන්නේ.

ඉතින් එ් නිසා මේ පින්වතුන් දුර බැහැර ඉඳලා ඇවිල්ලා වාඩිවෙලා ආශාවෙන් ඉන්නේ එ් ගෞතම බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි ආදරයෙන්, කරුණාවෙන් වදාළේ කුමක්ද කියන කාරණය දැනගන්නයි. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණේම එක කාරණයක් අපට කියා දෙන්නයි. එ් කුමක්ද? මේ ලෝකයේ තියෙන සත්‍යයක් ගැන කියාදෙන්නයි.