භාග්‍යවතුන් වහන්සේගේ අමිල නිමල සදහම් දායාදය ලොවටම දන් දෙන රූපවාහිනී කලණ මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ලක්දිව දකුණු පළාතට සාමාන්‍ය නාලිකාවක් වශයෙන් ව්‍යාප්ත කරනු පිණිස ආරම්භ කළ දකුණුලකට ශ්‍රද්ධා පුණ්‍ය ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින් ඒ සඳහා උපකාර කළ පින්වත් සියලු දෙනාට පුණ්‍යානුමෝදනා සිදු කරමින් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-10-28 දින පැවැත්වූ විශේෂ ධර්ම දේශනය

සැදැහැවත් පින්වත්නි,

අපි මේ ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාවෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබ සියලු දෙනාට ගෞතම අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබට තේරෙන භාෂාවෙන් පැහැදිලිව, නිර්මලව, ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයටම කියා දීමයි. එහෙම කියා දීලා ඔබේ හිතේ පැහැදීමක් ඇතිවුනොත්, ඇතිවෙන්නේ බුදරජාණන් වහන්සේ ගැන. ඒ බුදුරජාණන් වහන්සේ පැහැදීම ඇති නොවී, කියා දෙන මං ගැන පැහැදුනොත් වැරදියි. ඇයි අපේ ඉලක්කය බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවාදීමයි. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන හිත හරි විදියට පැහැදුනොත් දෙවනි පැහැදීම ඇති වෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ගැන පැහැදීම ඇතිවෙනවා. ධර්මය ගැන හරියට පැහැදුනොත් ඊලගට පැහැදීම ඇතිවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ගැනයි. ඒ ශ්‍රාවක සංඝ රත්නය ගැනත් හරි පිළිවෙලට ඇති නොවුනොත් වරදිනවා. ශ්‍රාවක සංඝ රත්නය ගැන අපි ඇති කරගන්නේ ශ්‍රාවක සංඝ රත්නයේ අග්‍ර තැන ඉදලා. ශ්‍රාවක සංඝ රත්නයේ අග්‍රස්ථානයේ වැඩ සිටියේ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන රහතන් වහන්සේ, මහා කස්සප රහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ ආදී රහතන් වහන්සේලා. ඊලගට පැහැදීම ඇතිවෙන්න ඕන මිහිදු මහරහතන් වහන්සේ ගැන.

එහෙම පැහැදීම ඇතිවෙලා අන්තිමට පහදින්න ඕනේ අනේ ! මේව අපිට මේ ස්වාමීන් වහන්සේ කියලා දීපු එක කොච්චර ලොකු දෙයක්ද කියලා. එහෙමයි වෙන්න ඕන. එහෙම නැතුව අනේ ! මේ ස්වාමීන් වහන්සේ පහල වෙලා අපිට මේ කරපු දේ කියලා කිව්වොත්, ඒක නිකම් බොරු කතාවක්. ඒක ස්ථිර පැහැදීමකට අයිති නෑ. ස්ථිර පැහැදීම ඇති වෙන්න ඕනේ, බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, ශ්‍රාවක සංඝ රත්නය ගැන. එතකොට ඒකේදී අපිට බුදුරජාණන් වහන්සේ ගැන හිත පහද ගන්න උපකාරී වෙන්නේ උන්වහන්සේ වදාළ ධර්මයයි. ඉතින් පින්වත්නි, මම අද අපට කල්පනා කලේ අලුතෙන්ම විකාශණයක් වෙන නිසා වැදගත් කරුණු කිහිපයක් කියන්න ඕන කියලා. සමහරවිට ශ්‍රද්ධා නාලිකාවෙන් බණ අහනවා ගෙදරවල් ඉන්න ලෙඩ වුනු අම්මලා, ඇවිදගන්න බැරි අය, ඊලගට රෝගීන් ඒවගේ ගොඩාක් අය ඉන්නවා ගෙදරට වෙලා. සමරහ විට ගෙදර ඉන්නේ, ගෙවල් දොරවල් ඉඩ කඩම් වැටවල් මායිම් එක්කෝ ඕව අල්ලගෙන. එහෙම නැත්නම් ඉන්නේ තමන්ට දරුවෝ සැලකුවේ නෑ, මට අසවල් දේවල් ලැබුනේ නෑ, මට මෙහෙම වුනා කිය කිය ඒක අල්ලගෙන….