පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2018-04-28 වන දින කඩුවෙල බෝධිඥාන භාවනා අසපුවේ අසිරිමත් සර්වඥ ධාතු පූජා මංගල්‍යය නිමිත්තෙන් සිදුකරන ලද විශේෂ ධර්ම දේශනය

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

අපි සතුටු වෙන්න ඕන, අපට බුදුරජාණන් වහන්සේව සරණ යන්න ලැබුනා. අප නිතර කුඩා අවදියේ සිට බුද්ධං සරණං ගච්ඡාමී කියලා කියන නිසා නිතර ඇසෙන නිසාත් අපට මේ සරණ යෑමේ වටිනාකමක් තේරෙන්නේ නෑ. ඒ නිසා ඇත්ත පිහිට හදුනා ගන්න බැරුව නොයෙක් ලාමක පුද්ගලයන්ව සරණ යනවා. අමනුස්සයෝ සරණ යනවා. ඒ අමනුස්සයන් රාග, ද්වේෂ, මෝහ සහිතයි. ඒ අමනුස්සයන් සරණ ගියපු කියන කෙනෙකුට අමනුස්සයන්ගෙන් ගැලවෙන්ට බෑ. රාග, ද්වේෂ, මෝහ තියෙන කෙනෙක් තව කෙනෙකුට බැදුනම ඔහුව අතාරින්නේ නෑ. ඔහුව ග්‍රහණය කරගන්නවා. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ ඇර අනිත් සියළු දෙනාම රාග, ද්වේෂ, මෝහ සහිත අය. ඒ රාග ද්වේෂ මෝහ සහිත අය තමන් අදහන අයට ඇලෙනවා. රාග, ද්වේෂ, මෝහ සහිත අය ඒ කෙනාව අදහන්නේ නැතුව ගියොත් එයා කෝප වෙනවා. කෝප වෙලා දඩුවම් කරනවා. රාග, ද්වේෂ, මෝහ තියෙන කෙනා මුලාවෙන් යුක්තයි. නමුත් අපි සරණ ගිය අපගේ ශාස්තෘණ් වහන්සේ රාගය දුරු කළ සේක. ද්වේෂය දුරු කළ සේක. මෝහය දුරු කළ සේක. ඒ නිසා බුදුරජාණන් වහන්සේට මේ පුද පූජාවන් පවත්වන්නේ උන්වහන්සේ පිරිනිවන් පාන්ට කළින් අධිෂ්ඨාන කළා මේ ධාතූන් වහන්සේලා මේ විදියට පවතින්න කියලා. ඒ කියන්නේ උන්වහන්සේගේ ධාතූන් වහන්සේලා දළදා වහන්සේලා හතර නම අකුධාතූන් වහන්සේලා දෙනම, ලලාට ධාතූන් වහන්සේ, ඊළගට අනෙක් ශාරීරික අස්ථි කැබලි වලට කැඩිලා ගියා. සහල් ඇට ප්‍රමාණේ, මුං පියළි ප්‍රමාණේ, අබ ප්‍රමාණේ ධාතූන් වහන්සේලා කැඩිලා ගියා. මේ කරඩුවේ වැඩ ඉන්නේ අබ ඇටයේ ප්‍රමාණයේ ධාතූන් වහන්සේ නමක්. මේ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින්නේ භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨානයෙන්. මේ සර්වඥ ධාතූන් වහන්සේලාට වන්දනා කරළා ඒ පින් බලෙන් සතර අපායට නොවැටී දෙවියන් අතර උපදින්න සලස්වගන්නයි, අපට සුගතියේ උපත සලස්වාදෙන්නයි මේ ධාතූන් වහන්සේලා වැඩ ඉන්නේ. යම් කිසි කෙනෙක් හිත පහදවා ගත්තොත් මේ ධාතූන් වහන්සේලා කෙරෙහි, ඒ හිත පහදවාගැනිල්ල එයා පහදවාගන්නවද නැද්ද කියලා භාග්‍යවතුන් වහන්සේ බලාගෙන නෑ. මේ කෙනා මට පහදිනවද නැද්ද කියලා බලන් ඉන්නේ නෑ. මේ කෙනා මට බුද්ධ පූජාව තියෙනවද නැද්ද කියලා බලාගෙන නෑ. එහෙම බලාගෙන ඉන්නේ කෙලෙස් සහිත අය……..