පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-11-19 දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති මාසික සදහම් වැඩසටහනේදී කාලාම සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනාව.

සැදැහැවත් පින්වත්නි,
අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා දැන් අවුරුදු දෙදාස් පන්සීයකුත් ඉවරයි. ඔබ කවුරුත් දන්නවා සම්බුද්ධත්වයට පත්වෙන්ට කලින් උන්වහන්සේ කාලයක් දුෂ්කරක්‍රියා කළා. දුෂ්කරක්‍රියා කරපු කාලයේ නේරංජරා නදිය අසබඩ සිහිසන් නැතුව වැටුනා. ඒ වෙලාවේ උන්වහන්සේ ඉදිරියේ මාරයා පෙනී හිටලා කිව්වා මේ සංසාරෙන් අත්මිදෙන්ට ඔට්ටු වෙන්න එපා. මේකෙන් ගැලවෙන්ට මහන්සි ගත්තු හැමෝටම වැරදුනා. ඒ නිසා පින් කරගෙන ඉන්න කියලා. ඊට පස්සේ කිව්වා තමුන්නාන්සේට ජීවත් වෙන්න තියෙන්නේ එකයි. මරණය පැත්තට නවසිය අනූනවයක් තියෙනවා කිව්වා. ඒ කිව්වේ දාහෙන් එකයි ජීවත් වෙන්න ඉඩ තියෙන්නේ කිව්වා. කොහොම අසාධ්‍ය තත්වයෙන් ඉන්න ඇත්ද!

ඊට පස්සේ අපේ මහබෝසතාණෝ උත්තර දුන්නා පිනෙන් වැඩ ඇති අයට කියාපං ඕක. මම විමුක්තිය කරා ගිහිල්ලා මිසක් නවතින්නෙ නෑ කියලා. උන්වහන්සේ මාරයාට කියනවා මේ මගේ ශරීරය පිසදාගෙන හමාගෙන යන සුළඟට ඔය ගංගාවේ ජලපහර වියළවා දමන්ට පුළුවන්. එහෙම වීරියක් ඇතුවයි උන්වහන්සේ ඒකට මුහුණ දුන්නේ. එතකොට අපිට තේරෙනවා ඒ කාලේ මේ ලෝකය කොහොම වසාගෙන තියෙන්ට ඇත්ද! ලෝකය කිව්වේ ඇස, කන, නාසය, දිව, කය, මනස. මේක කොහොම වසාගෙන තියෙන්ට ඇත්ද!

ඊට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ වජිරාසනය මත වැඩහිඳ මහබෝ සෙවනේ උන්වහන්සේට බාධා කරපු, උන්වහන්සේව නොමග යවන්ට මහන්සි ගත්තු ඒ සෑම බලවේගයක් ම උන්වහන්සේගේ පාරමී බලයෙන් පැරැද්දෙව්වා. පරද්දවලා හිට උන්වහන්සේ තනියම සම්බුද්ධත්වයට පත්වුනා. එ් අසිරිමත් සිදුවීමත් එක්ක තමයි දෙවියන්ට මිනිස්සුන්ට බාධාව මැඩගෙන උන්වහන්සේ පෙන්නාපු මාර්ගයේ යන්ට පුළුවන් වුනේ. එහෙම නැත්නම් ඒක හිතන්නවත් පුළුවන් එකක් නෙවෙයි….

● සම්පූර්ණ ධර්ම දේශනය ශ්‍රවණය කරන්න »