පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-12-03 උඳුවප් පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී ලෝහිච්ච සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනය

ඉතින් (භාග්‍යවතුන් වහන්සේ දානයට වඩින වේලේ) දියනහවන භේසිකා භාග්‍යවතුන් වහන්සේ පිටුපසින් ගමන් කළා. එතකොට දියනහවන භේසිකා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළා. “ස්වාමීනි, ලෝහිච්ච බ්‍රාහ්මණයා හට මෙවැනි වූ පවිටු මිථ්‍යා දෘෂ්ටියක් ඇතිවෙලා තිබෙනවා. ඒ කියන්නේ මෙහි ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, යම් කුසල ධර්මයක් උපදවාගෙන සිටිනවා නම්, ඒ කුසල ධර්මය උපදවාගෙන ඒ ගැන අන් අයට නොකිව යුතුයි කියලා. තව කෙනෙක් තවත් කෙනෙකුට කවර නම් දෙයක් කරන්නද? ඒක හරියට පැරණි බන්ධනයක් සිඳදමා වෙනත් අළුත් බන්ධනයක් කරනවා වගේ. තමන් උපදවා ගත් කුසල ධර්ම ගැන අනුන්ට කියන එකත් ඒ වගේම පවිටු ලෝභ දෙයක්. තව කෙනෙක් තව කෙනෙකුට කවර නම් දෙයක් කරන්නද?” කියලා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ලෝහිච්ච බ්‍රාහ්මණයාව මේ පවිටු දෘෂ්ටියෙන් මුදවන සේක් නම් ඉතා යහපති.” “පින්වත් භේසිකයෙනි, ඒක එහෙම වේවි. පින්වත් භේසිකයෙනි, ඒක එහෙම වේවි.”

ඉතින් භාග්‍යවතුන් වහන්සේ ලෝහිච්ච බ්‍රාහ්මණයාගේ නිවසට වැඩම කළා. වැඩමකොට පණවන ලද ආසනයෙහි වැඩසිටියා. එතකොට ලෝහිච්ච බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා වහන්සේ ප්‍රණීත වූ වැළඳිය යුතු, අනුභව කළ යුතු දෙයින් සියතින්ම හොඳින් වැළඳෙව්වා. හොඳින් පිළිගැන්වූවා. පසුව ලෝහිච්ච බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ දන් වළඳා අවසන් වූ පසු එක්තරා කුඩා ආසනයක් ගෙන එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුන ලෝහිච්ච බ්‍රාහ්මණයාට භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ වදාළා……