පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2015-08-16 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික දහම් වැඩසටහනේදී පවත්වන ලද ධර්ම දේශනා

ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි දිගටම පසුගිය වැඩසටහන් වලදී ඉගෙන ගත්තේ පිනක ඇති වටිනාකම ගැන. පිනක් විසින් අපට දෙන උදව්ව, අප රැස්කරන්නා වූ පින අපිව අනතුරු වලින් බේරන විදිහ. ඒ දේවල් අපි ඔබට කියාදුන්නේ බුද්ධ දේශනා ආශ්‍රයෙන්. සමහරුන්ට ‘අනේ අපිට පින් වැඩක් නෑ. අපි කාටවත් වරදක් කරන්නෙ නෑනේ. ඒ නිසා අපිට අමුතුවෙන් පින් කරන්න ඕනෙ නෑ’ කියලා ඒ වගේ මිසදිටු වැරදි අදහස් ඇතිවෙනවනෙ. නුවණැත්තෙකුට අන්න ඒවායින් බැහැර වෙලා ඉඩ ලැබෙන වෙලාවට පින් කරගන්න අවස්ථාව ලැබෙනවා. මේ පින් ගැන අපිට අහන්න ලැබුණෙත් බුදුරජාණන් වහන්සේගේ දේශනා වලින්.

බුදු කෙනෙක් පහළ වීමේ මූලික පරමාර්ථය චතුරාර්ය සත්‍යය දේශනා කිරීමයි. ඒ චතුරාර්ය සත්‍යය දේශනා කරද්දී උන්වහන්සේ පින ගැනත් දේශනා කළේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්න සුදුසු පරිසරයක් ලබාදෙන්නයි. ඇයි පින් තියෙන කෙනාට තමයි ඒ අවස්ථාව ලැබෙන්නේ. පිනක් නැති කෙනාට ඒ අවස්ථාව ලැබෙන්නෙ නෑ. බුදුරජාණන් වහන්සේ පින් රැස්කරගන්න කියලා දේශනා කළා. ඒ විතරක් නෙමෙයි. උන්වහන්සේ පව ගැන ඉතාම හොඳට පැහැදිලි කළා. මං හිතන්නෙ නෑ මේ ලෝකයේ වෙන කිසිම කෙනෙක් එච්චර හොඳට පාපය විස්තර කරයි කියලා. පව, පවේ ස්වභාවය, පව් වල ඇති භයානකකම, පවෙන් බේරෙන ආකාරය, පවෙන් වළකින ක්‍රම බුදුරජාණන් වහන්සේ දේශනා කළා.