පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2015-09-20 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික දහම් වැඩසටහනේදී විපස්සී සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා

ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි පසුගිය දහම් වැඩසටහනේදී පටිච්ච සමුප්පාද ධර්මයේ කොටසක් ඉගෙන ගත්තා. මේ පටිච්ච සමුප්පාදය ඉගෙන ගැනිල්ලෙන් තමයි අපිට අවබෝධ කරගන්න තියෙන්නේ අපේ මේ ජීවිත පැවැත්ම හේතුඵල දහමක්ය කියලා. ඒ කියන්නේ හේතුව සකස් වෙනකොට ඵලය සකස්වෙන ස්වභාවයට අයිති දෙයක් කියලා. ඒ විදිහට ජීවිතේ ගැන තේරුම් ගැනීම සියුම් දෙයක්. ඒක පහසු දෙයක් නෙමෙයි. මේ දීර්ඝ සසරේ කල්ප ගණන් අපි ජීවිතේ දැකලා තියෙන්නේ ඒ විදිහට නෙමෙයි. මේ ජීවිතේදිත් අපි මේ ජීවිතේ හඳුනගෙන තියෙන්නේ ඒ විදිහට නෙමෙයි.

අපි ජීවිතය ගැන හඳුනගෙන තියෙන්නේ අපට දාපු නම්ගොත් අනුවයි. කවුරුහරි ඇහුවොත් නම මොකක්ද කියලා එතකොට අපි නම කියනවා. අපි වෙන කෙනෙක් ගැන කතා කරද්දිත් මේ අසවල් කෙනා, අසවල් කෙනා කියලා නම කියනවා. අපි නම්ගොත් දාලා හැම දේකටම කතා කරන්න පුරුදු වෙච්ච අය. අපි හිතන්නෙත් ඒ නම්ගොත් දාපු රටාව ඔස්සේ. මේ අසවලා, අර සුමනා, මේ සුජාතා, මේ මල්ලිකා, මේ ගාමිණී, මේ විජේ කියලා ඔය විදිහට තමයි හිතන්නේ.

එහෙම හිත හිතා ඉන්න කෙනෙක් මේ ජීවිතේ කියන්නේ හේතුඵල දහමක්ය කියලා තේරුම් ගන්න නම් එයාට සෑහෙන්න මෝරපු ප්‍රඥාවක් තියෙන්න ඕන. ඒ මෝරපු ප්‍රඥාවකින් දැකිය යුතු දේ කෙනෙකුට එකපාරටම නොවැටහෙන්න පුළුවන්. ඇයි ඒක පුරුදු නැති නිසා. හැබැයි ඒක නොතේරුනා කියලා ඒ නොතේරුම්කම අවබෝධයට සුදුසු කමක් නෙමෙයි. ඒ නොතේරුම්කම අවබෝධයට සුදුසුකමක් නෙමෙයි නම් අපි නොතේරුම්කම ඉස්සරහට ගන්න හොඳ නෑ.