පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2015-10-18 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී පටිච්ච සමුප්පාදය පිළිබඳ විස්තර කරමින් පවත්වන ලද ධර්ම දේශනා

ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි පසුගිය වැඩසටහන් වලදී පටිච්ච සමුප්පාදයේ හටගැනීම ගැන ඉගෙන ගත්තා. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මේ සංසාරේ ඉපිද ඉපිද මැරි මැරී යන්න හේතු භූත වෙච්ච කාරණා සකස් වෙන ආකාරය. ඒ කියන්නේ එක ආත්මෙක මනුස්සයෙක්. ඊළඟ ආත්මයේ පෙරේත ලෝකයේ. ඊළඟ ආත්මයේ තිරිසන් අපායේ. ඊළඟ ආත්මයේ නිරයේ. මෙහෙම යන අතරේ කලාතුරකින් තමයි අපට මනුස්ස ආත්මයක් ලැබෙන්නේ. මිනිස් ආත්මයක් ලැබුනත් අපි අපේ හිතේ තියෙන කෙලෙස් වලට අනුව වැඩ කරනවා මිසක් කිසි අවබෝධයකින් වැඩ කිරීමක් නෑ.

ඊට පස්සේ අපි ගෙවල් දොරවල් වලට බැඳිලා, එක්කෝ රාගයෙන් හරි ද්වේශයෙන් හරි මෝහයෙන් හරි ඇතිවෙච්ච වෙනත් ප්‍රශ්න වලට මැදි වෙලා මේකෙන් නිදහස් වෙන්නෙ නැතුව ඒකට ම ගොදුරු වෙලා මැරිලා යනවා. ඉතින් මෙහෙම යන ගමනේ අපට මේ විදිහටයි ප්‍රශ්නය හැදෙන්නේ, මේ විදිහටයි ඒ ප්‍රශ්නය ලෙහෙන්නේ කියලා ඒ ප්‍රශ්නය නිවැරදිව අඳුනගත්තු කෙනෙකුට මිසක් ප්‍රශ්නය හඳුනගත්තේ නැති කෙනෙකුට මේක විසඳන්න බෑ.

බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී නිවැරදිව මේ ප්‍රශ්නය හඳුනගෙන ඒ ප්‍රශ්නය විසඳගත්තා. එහෙම විසඳගත්තු නිසා උන්වහන්සේට පුළුවන් වුනා තම ශ්‍රාවකයින්ට මේ ජීවිත ගැටලුව හටගන්නේ මෙහෙමයි කියලා විස්තර කරලා දෙන්න. මේ ජීවිත ගැටලුව විසඳෙන්නේ මෙහෙමයි කියලා විස්තර කරලා දෙන්න. ඒ කාලේ ඒ ධර්මය අහපු අයට ඒක අවබෝධ වුනේ නැත්නම් බුදුරජාණන් වහන්සේ ඇරුනු කොට මාර්ගඵල ලාභීන් කවුරුවත්ම බිහි වෙන්නේ නෑ.