පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2015-12-20 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී ඤාණවත්ථු සූත්‍රය සහ දුතිය ඤාණවත්ථු සූත්‍රය ඇසුරෙන් සිදුකළ ධර්ම දේශනා

ඤාණවත්ථු සූත්‍රයෙහි විස්තර වන්නේ පටිච්ච සමුප්පාදයේ එක් එක් අංගයන් පිළිබඳ සිව් ආකාරයකින් ශ්‍රාවකයා අවබෝධය ඇතිකරගන්නා ආකාරයයි. එම අවබෝධය “ධම්මේ ඤාණය” ලෙස හඳුන්වනු ලබයි. ඒ සිව් ආකාර අවබෝධයෙන් යුක්ත ශ්‍රාවකයා එම අවබෝධය අතීතයට හා අනාගතයට ගලපා බලයි. එය “අන්වයේ ඤාණය” ලෙස හඳුන්වනු ලබයි. මෙම ඤාණ දෙකින් සමන්විත වූ ආර්ය ශ්‍රාවකයා චතුරාර්ය සත්‍යය දර්ශනයෙන් යුක්ත වූ අමා නිවන් දොරේ හැපි හැපී සිටින කෙනෙක් ලෙස භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට තිබේ.

දුතිය ඤාණවත්ථු සූත්‍රයෙහි විස්තර වන්නේ පටිච්ච සමුප්පාදයේ එක් එක් අංගයන් පිළිබඳ සත් ආකාරයක අවබෝධය ඇතිකරගැනීම ගැනයි. එහිදී තමා තුළ ඇතිවන අවබෝධ ඤාණය පවා ක්ෂය වී යන ස්වභාවයෙන් යුතු, නොඇලිය යුතු ස්වභාවයෙන් යුතු දෙයක් වශයෙන් දකිනා ආකාරය භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් පෙන්වා දී තිබේ.