පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016-03-06 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී පංච උපාදානස්කන්ධය පිළිබඳව සහ නකුලපිතු සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා ගෘහපතිය, මෙබඳු වහා නැසෙන, නිතරම රෝගාතුර වෙන ශරීරයක් ඇතිකෙනා ශරීරය මුල් කරගෙන නිරෝගී බව ගැන කයිවාරු ගහනවා නම් ඒක මෝඩකම මිසක් වෙන දෙයක් නෙමෙයි කියනවා. ‘කිමඤ්ඤත්‍ර බාල්‍යං’ – අඥානකම මිසක්කා වෙන මොකක්ද කියලා අහනවා. ඔන්න ඊටපස්සේ බුදුරජාණන් වහන්සේ අවවාදයක් දෙනවා. ඒ නිසා ගෘහපතිය, මෙන්න මේ විදිහට පුරුදු වෙන්න. “මේ ලෙඩවෙන ස්වභාවයෙන් යුක්ත ශරීරය ලෙඩවෙලා ගියාවේ. නමුත් මං සිත ලෙඩ කරගන්නේ නෑ” කියලා.

දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ අවවාදය. ඉතින් නකුලපිතු ගෘහපතිට ඒ අවවාදෙට හරි සතුටුයි. බොහොම ප්‍රීතියට පත්වෙලා, බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා, උන්වහන්සේගේ වටේ ප්‍රදක්ෂිණා කරලා ඊටපස්සේ ඒ නකුලපිතු ගෘහපතියා අපේ ධර්මසේනාධිපතීන් වහන්සේව සොයාගෙන ගියා. ගිහින් ධර්ම සේනාධිපතීන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා එකත්පස්ව වාඩිවුනා. එතකොට ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ නකුලපිතු ගෘහපතියාගෙන් අහනවා ‘පින්වත් ගෘහපතිය, ඔබ හරි ලස්සනයි නොවැ අද. බොහෝම ඉඳුරන් පහන් වෙලා නොවැ. මූණත් එළිය වැටිලා. මොකදෑ අද භාග්‍යවතුන් වහන්සේ මුණගැහුනට පස්සේ විශේෂ බණක් ඇහුවාද?’ කියලා ඇහුවා……..