පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016-07-03 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී මහා නිදාන සූත්‍රය සහ ධනඤ්ජානි සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා

ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මාසිකව කරනු ලබන මේ දහම් වැඩසටහනේදී අපි මාස කීපයක් ම ඔබට බුදුරජාණන් වහන්සේ වදාළ පටිච්ච සමුප්පාද ධර්මය කියලා දුන්නා. ඒ පටිච්ච සමුප්පාද ධර්මය ඉගෙන ගැනීම තුළ තමයි අපට මේ ලෝකයේ තියෙන්නේ හේතුප්‍රත්‍ය සම්බන්ධයක්, හේතුඵල ස්වභාවයක් කියන කාරණය අවබෝධ වෙන්නේ. හැබැයි අපි කාලයක් තිස්සේ පුරුදු කරපු රටාව ධර්මය මෙනෙහි කිරීම නොවන නිසා අපට එකපාරට ම මේ ධර්මය වටහා ගන්ට අමාරු වෙන්න පුළුවනි.

නමුත් දිගින් දිගට ම අපි ධර්මය ඉගෙන ගැනීමට උත්සාහ කළොත්, ඒ ඉගෙන ගත්තු ධර්මය ඒ ධර්මයේ පෙන්වා දීලා තියෙන ආකාරයට ම විමසන්නත් උත්සාහ කළොත් අපේ නුවණ වැඩෙන්න ගනීවි. ඒකට උදව් වෙන විශේෂ දේශනා දෙකක් තමයි අද අපි ඉගෙන ගන්නේ.