පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016-08-07 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී මහා තණ්හාසංඛය සූත්‍රය ඇසුරෙන් සිදුකළ ධර්ම දේශනාව

ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද අපි ඉගෙන ගන්නේ මහා තණ්හාසංඛය සූත්‍රය. මේ දේශනාව ඇතුළත් වෙන්නේ මජ්ඣිම නිකායේ. තණ්හා සංඛය කියන්නේ තණ්හාව ක්ෂය කිරීම, තණ්හාව ගෙවා දැමීම. තණ්හාව ගෙවා දැමීම ගැන දේශනා දෙකක් තියෙනවා. එකක් තමයි අද අපි මේ ඉගෙන ගන්න මහා තණ්හාසංඛය සූත්‍රය. අනික චූළ තණ්හාසංඛය සූත්‍රය.

ඒ දවස්වල අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනයේ වැඩසිටියේ. ඒ සැවැත් නුවර ම කේවට්ටපුත්‍රයෙක් පැවිදි වෙලා හිටියා. කේවට්ටපුත්‍ර කියලා කියන්නේ මාළු අල්ලන කෙනෙකුගේ පුතෙක් පැවිදි වෙලා හිටියා. එයාගේ නම සාති. මහ උගත් කෙනෙක් නොවන බව පේනවා. කියන කරුණ හරි විදිහට අල්ල ගන්න බැරිවෙච්ච එක්කෙනෙක්.