පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016-09-04 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී වම්මික සූත්‍රය සහ ධම්මසමාදාන සූත්‍ර ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා

ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අදත් අපි සියලු දෙනාම මේ රැස්වුනේ අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මයක් ශ්‍රවණය කරලා ඒ ධර්මයෙන් අපේ ජීවිතයට පිහිටක් ලබාගන්නයි. අපට මේ සංසාරේ සැරිසරාගෙන යන්න වෙලා තියෙන්නේ ධර්මයේ හැසිරීම නිසා නෙවෙයි. ධර්මයේ නොහැසිරීම නිසායි. ධර්මය පිළිපැදීම නිසා නෙවෙයි. ධර්මය නොපිළිපැදීම නිසායි. ධර්මයේ නොහැසිරුනොත් කර්මානුකූලව සත්වයා මරණින් මත්තේ සතර අපායට වැටි වැටී, සතර අපායෙන් එතෙර නොවන ගමනක යනවා.

මේකෙන් අත්මිදෙන්න කලාතුරකින් බුදුකෙනෙක් පහළ වෙලා මේ ධර්මය කියා දෙනවා. එතකොට නුවණ තියෙන කෙනා ඒ ධර්මය අහලා බැලිය යුත්තේ තමන් දෙසයි. තමන් ඉන්නේ මොන තත්වයේ ද? තමන්ට මොකද මේ වෙලා තියෙන්නේ? තමන් ධර්මය තුළද? තමන් ධර්මයෙන් බැහැරද? කියලා තමන් දිහා බලන්න ඕනෙ. ඒ විදිහට තමන්ගේ ස්වරූපය තමන් දැක ගත්තොත් තමන්ට විසඳුමක් ගන්න පුළුවන්. තමන්ට තමන්ව පේන්නේ නැත්නම් විසඳුම් නෑ. එහෙනම් මේ ධර්මය අපි ඉගෙන ගන්නේ කාව දකින්නද? තමාව තේරුම් ගන්නයි. ඒකට උපකාර කරගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය යි.