පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016-10-02 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී මහා හත්ථිපදෝපම සූත්‍රය සහ මහා වේදල්ල සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා

ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දහම් වැඩසටහනේදී දිගටම පටිච්චසමුප්පාදය ගැන විස්තර වශයෙන් ඉගෙන ගත්තා. ඒ වගේම පංච උපාදානස්කන්ධය ආදී නොයෙක් දහම් කොටස් ගැන විස්තර වශයෙන් ඉගෙන ගත්තා. අද අපි ඉගෙන ගන්නෙත් විශේෂ දේශනාවක්. මේ දේශනාවේ නම මහා හත්ථිපදෝපම සූත්‍රය. ඇත්පියවර උපමා කරගෙන වදාළ විස්තරාත්මක දේශනාව. මේ දේශනාව ඇතුළත් වෙන්නේ මජ්ඣිම නිකායේ. මේ දේශනාව අපගේ භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩසිටින කාලේ ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ ධර්මසේනාධිපති සාරිපුත්තයන් වහන්සේ වදාළ දෙසුමක්. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂු සංඝයා අමතා මේ විදිහට වදාළා.

“ඇවැත්නි, ඇවිදින්නා වූ ප්‍රාණීන්ගේ සියලු පා සටහන් ඇතාගේ පියවර ඇතුළට දාන්ට පුළුවනි. ඒ නිසා ඇත් පියවර ඒ සියලු පා සටහන් අතරේ අග්‍රයි කියලා කියනවා. ඒවමේව ඛෝ ආවුසෝ ඒ වගේ ඇවැත්නි, යේ කේචි කුසලාධම්මා යම්කිසි කුසල් දහම් ඇත් ද, සබ්බේ තේ ඒ සියලු කුසල් දහම් චතුසු අරියසච්චේසු සංගහං ගච්ඡන්ති චතුරාර්ය සත්‍යයට ඇතුළත් වෙනවා.” එතකොට මේ ලෝකයේ ගෞතම බුද්ධ ශාසනයේ විස්තර වන්නා වූ යම් කුසල් දහම් ඇත් ද, ඒ සියලු කුසල් දහම් චතුරාර්ය සත්‍යයට ඇතුළත් වෙනවා. එහෙමනම් චතුරාර්ය සත්‍යයෙන් බැහැර වූ කුසල් දහම් කියලා එකක් නෑ.