පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-01-08 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී චේතනා සූත්‍රය ඇසුරෙන් සිදුකළ ධර්ම දේශනාව සහ අරියසාවක සූත්‍රය ඇසුරෙන් සිදුකළ ධර්ම දේශනාව

ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ඔබට මතක ඇති අපි ගිය වතාවේ කියා දුන්නා බුදුරජාණන් වහන්සේගේ සරණ, ධර්මයේ සරණ, ශ්‍රාවක සංඝයාගේ සරණ සිහි නොකොට මේ මාර්ගයේ දියුණුවක් ලබන්න බෑ කියලා. මොකද හේතුව, මේ ධර්ම මාර්ගය සම්පූර්ණයෙන් ම තියෙන්නේ ත්‍රිවිධ රත්නය සරණ කරගෙනයි. යම් කිසි කෙනෙක් මේ ධර්ම මාර්ගයට පැමිණුනොත් සෝවාන් වුනොත් ඒ කෙනා තුළ අංග හතරක් පිහිටනවා. ඒවාට කියනවා සෝතාපත්ති අංග කියලා. ඒවායෙන් පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇතිවෙන නොසෙල්වෙන පැහැදීම. දෙවෙනි එක ධර්මය කෙරෙහි ඇතිවෙන නොසෙල්වෙන පැහැදීම. තුන්වෙනි එක ශ්‍රාවක සංඝයා කෙරෙහි ඇතිවෙන නොසෙල්වෙන පැහැදීම. හතරවෙනි එක ආර්යකාන්ත සීලය.

එහෙනම් මේ ධර්ම මාර්ගයේ දී ප්‍රශංසා ලබන්නේ තමන් නෙවෙයි. ප්‍රශංසා ලබන්නේ ත්‍රිවිධ රත්නයයි. ශාස්තෘන් වහන්සේ, ශාස්තෘන් වහන්සේ වදාළ ධර්මය සහ ශාස්තෘන් වහන්සේගේ ශ්‍රාවක සඟ පිරිස. යම් කිසි ධර්ම කතාවකින් තමන්ට ප්‍රශංසාව ලබාගන්නවා නම් එතන සෝතාපත්ති අංග නෑ. මේ කාලේ අපට තියෙන ගැටලුව තමයි පින්වත්නි, මේ ධර්මය පුරුදු කරන්න අපේ හිතෙන් එන පෙළඹවීම බලවත් නැති එක. ධර්මය පුරුදු කරන්න තියෙන පෙළඹවීමට වඩා අපේ හිතේ අකුසල්වලින් ඇතිවන පෙළඹවීම වැඩියි.