පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-02-05 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී උපාලි සූත්‍රය සහ චූළ සකුළුදායි සූත්‍රය ඇසුරෙන් සිදුකළ ධර්ම දේශනා

සැදැහැවත් පින්වත්නි, මාසිකව සිදුකරනු ලබන මේ දහම් වැඩසටහනේදී අපි ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පටිච්චසමුප්පාදය, පංචඋපාදානස්කන්ධ ආදී ගැඹුරු දහම් කොටස් බොහොම සරල විදිහට කියා දුන්නා. බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ නැතුව, බුදුරජාණන් වහන්සේගේ සරණේ පිහිටන්නේ නැතුව අපට මේ ධර්මය වැටහෙන්නේ නෑ. මේ ධර්මය තමන් වටහා ගත්තු, තමන්ට අවබෝධ වෙච්ච දෙයක් කියලා තමන්ව ඉස්මතු කරගත්තොත් ඒක ධර්මයේ නොපිහිටීම පිළිබඳ ලකුණක්. මේ ධර්මය හරි විදිහට තේරුණා නම් ඒ කෙනා හැම තිස්සේ ම ප්‍රශංසා කරන්නේ ඒ ධර්මය පෙන්නා දීපු ශාස්තෘන් වහන්සේට යි. ඊළඟට ඒ ධර්මයටයි. ඊළඟට ශ්‍රාවක සංඝයාටයි. මෙකල මනුෂ්‍යයාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්න තියෙන වාසනාව මදිබව ඉතාමත් පැහැදිලිව පේන කාරණයක්.