පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-07-16 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති මාසික සදහම් වැඩසටහනේදී සම්මසන සූත්‍රය ඇසුරෙන් සිදුකරන ලද ධර්ම දේශනා

සැදැහැවත් පින්වත්නි,
ඔබ දන්නවා විශේෂයෙන් මේ මහමෙව්නාව තුළ අපි ගොඩාක් මහන්සි ගන්නේ බණ කියන කෙනා කෙරෙහි පහදවන්ට නෙමෙයි. බණ කියන කෙනා කෙරෙහි පහදවන්ට ලේසියි. බණ කියන කෙනා මොනවාහරි කිව්වොත් මම මෙහෙමයි… මෙහෙමයි කියලා, මිනිස්සු ලේසියෙන් ම පහදිනවා.

මහමෙව්නාවේ ඉලක්කය වුනේ මේ ධර්මය ඉස්මතු කරපු ශාස්තෘන් වහන්සේ කෙරෙහි පැහැදවීම යි. ශාස්තෘන් වහන්සේ කෙරෙහි හරි විදිහට පැහැදුනොත් ඊට පස්සේ එයා පහදින්නේ ඒ ශාස්තෘන් වහන්සේ වදාළ ධර්මයට යි. ධර්මයට පැහැදුනොත් ඊට පස්සේ එයා පහදින්නේ සංඝයාට යි. බුදුරජාණන් වහන්සේටත් නොපැහැදී ධර්මයටත් නොපැහැදී සංඝයාට විතරක් පැහැදිලා ඉන්ට විදිහක් නෑ. ඒකට කියන්නේ පුද්ගලප්‍රසාදය කියලා. පුද්ගලයා කෙරෙහි ඇතිවෙච්ච පැහැදීම. පුද්ගලයෙකුට පැහැදුනාම එයාට නැතිවෙන්නේ තිසරණය යි.