පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-09-17 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති මාසික සදහම් වැඩසටහනේදී ගද්දුලබද්ධ සූත්‍රය සහ මහාලි සූත්‍රය ඇසුරෙන් සිදුකළ ධර්ම දේශනා

සැදැහැවත් පින්වත්නි, ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා හතළිස්පස් අවුරුද්දක් පුරා ධර්මය දේශනා කරගෙන ගියා. උන්වහන්සේ පහළ වෙලා අවුරුදු විස්සකට පස්සේ තමයි විනය ප්‍රශ්න ඇතිවුනේ. එතකොට උන්වහන්සේ විනය නීතිත් පැනෙව්වා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්ට සූදානම් වෙලා ආනන්දයන් වහන්සේට වදාළා “ආනන්ද, තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ‘අපට දැන් ශාස්තෘන් වහන්සේ නමක් නෑ. අපි තනි වෙලා’ කියලා හිතන්ට එපා. මා විසින් යම් ධර්මයක් දේශනා කළා ද, යම් විනයක් පැනෙව්වා ද, ඒ ධර්ම විනය දෙක ඔබේ ශාස්තෘන් වහන්සේ ය කියලා මතක තියාගන්ට” කියලා.

එතකොට බුදුරජාණන් වහන්සේ අපට ශාස්තෘන් වහන්සේ හැටියට මතක තියාගන්ට කිව්වේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයත් විනයත්. අපේ වාසනාවට ඒ ශාස්තෘ සම්පත්තිය පිරිපුන්ව තිබෙන නිර්මල ධර්මය මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට අරගෙන වැඩියා. ඒ නිසා අපට අදත් බුදුරජාණන් වහන්සේ වදාළේ මොකක්ද කියලා හරි විදිහට, අවුලක් නැතුව, පටලැවිල්ලක් නැතුව අහන්ට පුලුවන්කම තියෙනවා.