පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-11-19 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී කාලාම සූත්‍රය සහ ධජග්ග සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා

බොහෝ කලක සිට කාලාම සූත්‍රයේ පණිවිඩය අප ලබාගෙන තිබෙන්නේ වැරදි ලෙස ය. බුදුරජාණන් වහන්සේ කිව්වත් පිළිගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇතැයි පවසමින් තමනුත් මුළා වී අන් අයවත් මුළා කරවන බොහෝ ගිහි පැවිදි පිරිසක් සිටිති. මෙයට හේතුව කාලාම සූත්‍රය නිසි ලෙස අධ්‍යයනය නොකිරීමය.

මේ නිසා අප හට ඇති ඒකායන පිළිසරණ වූ බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය අපේ ජීවිතයට සමීප කරගැනීමේ අවස්ථාව ද අහිමි වී යයි. එකී මුළාවෙන් නිදහස් කරවන මෙම පළමු දම් දෙසුමෙන් ඔබට කාලාම සූත්‍රයෙන් ලබාදෙන සැබෑ පණිවිඩය පිළිබඳව පහදා දෙයි.

වර්තමානයේ බොහෝ දෙනෙකු පුරුදු වී සිටින්නේ බියක්, තැතිගැනීමක්, කරදරයක් වූ විට පඬුරු බැඳීම්, බාරහාර වීම්, දේවාලවලට ගොස් අමනුස්සයන්ගේ පිහිට පැතීම් ආදිය සිදුකිරීමටයි. බුදුරජාණන් වහන්සේ විසින් අපගේ ආරක්ෂාව, රැකවරණය, යහපත පිණිස දේශනා කොට වදාළ පිරිත් සජ්ඣායනා කොට රැකවරණය සලසාගැනීමට ඔවුහු උත්සාහ නොකරති. පිහිටක් සොයා ළාමක දේවල් පසුපස හඹාගොස් අවසානයේ කබලෙන් ලිපට වැටුනා වැනි ව්‍යසනයන්ට පත්වෙති.

එසේ නොවී ඕනෑම කරදරයක්, විපතක් පැමිණි වෙලාවක තෙරුවන් සිහි කොට පිරිත් කියා තම ජීවිතයට හාත්පසින් ආරක්ෂාව සලසා ගන්නා ආකාරය ගැන මෙම දෙවන දම් දෙසුමෙන් විස්තර වේ.