පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-12-17 දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති මාසික සදහම් වැඩසටහනේදී රථවිනීත සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනාව

රථවිනීත සූත්‍රයෙහි සඳහන් වන්නේ මන්තානිපුත්ත පුණ්ණ මහරහතන් වහන්සේත් ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේත් අතර ඇතිවූ දහම් සංවාදයකි. මන්තානිපුත්ත පුණ්ණ මහරහතන් වහන්සේ වනාහී ධර්මකථික භික්ෂූන් අතර අගතනතුරු දැරූ රහතන් වහන්සේ ය. උන්වහන්සේ නිරන්තයෙන් අනෙකුත් භික්ෂූන් වහන්සේලාට දස කථාවෙන් අනුග්‍රහ කළ සේක. එමෙන්ම එම දසකථාවට අයත් උතුම් ගුණධර්මයන්ගෙන් සමන්විතව වැඩසිටි සේක. මෙම දහම් සංවාදය තුළ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කංඛාවිතරණ විසුද්ධිය, මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධිය, පටිපදා ඤාණදස්සන විසුද්ධිය, ඤාණදස්සන විසුද්ධිය යන සප්ත විසුද්ධීන් පිළිබඳව ද ඇතුලත් වේ. ඒ ඒ විසුද්ධීන්ට දස කතාවෙන් අනුග්‍රහ ලැබෙන ආකාරය ගැනත් අටුවාව ඇසුරෙන් විස්තර කොට ඇත.

එමෙන්ම මෙම ධර්ම දේශනයෙහි වර්තමානයේ බොහෝ ප්‍රචලිතව තිබෙන මිථ්‍යාවක් වන මගඵල ලබාදීමේ වැඩපිළිවෙළෙහි ඇති දෝෂයන් ගැනත් එය බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පටහැණි දෙයක් බවත් විස්තර කෙරේ. පරම පිරිසිදු බුද්ධ වචනය ඇතුලත් ත්‍රිපිටකයෙහි පාළි වචනවලට වැරදි අර්ථකථන දීමෙන් බොහෝ ජනයා සැබෑ බුද්ධ වචනය කෙරෙහි විශ්වාසයෙන් බැහැර වී ධර්මයේ නාමයෙන් පවසන පුද්ගලික අර්ථ විවරණ සත්‍යය යැයි අදහාගනියි. එයින් මුළාවෙන් මුළාවට පත්වෙමින් සිටින ජනතාවට මෙම උතුම් ධර්ම දේශනයෙන් සත්‍යය පහදා දෙයි.