2008 – 04 – 27 දින ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී පංචභයවේර සූත්‍ර දේශනාව විස්තර කරමින්, පූජ්‍ය පාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුනු ධර්ම දේශනාවකි.

එදා අනාථපිණ්ඩික ගෘහපතිතුමා භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ අනාථපිණ්ඩික ගෘහපතිතුමාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

පින්වත් ගෘහපතිය, යම් දවසක ආර්ය ශ‍්‍රාවකයා හට පස් ආකාර බිය හා වෛරයන් සංසිඳී ගියොත්, සෝතාපත්ති අංග හතරෙන් යුක්ත වුණොත්, එ් වගේම ආර්ය න්‍යාය ප‍්‍රඥාවෙන් අවබෝධ වෙලා, ඉතා හොඳින් අවබෝධ වෙලා තිබුණොත්, ඔහුට කැමති නම් තමන් විසින්ම තමන් ගැන ප‍්‍රකාශ කරන්න පුළුවනි, ‘මම නම් නිරය ක්ෂය වෙලා ගිය කෙනෙක්. තිරිසන් යෝනිය ක්ෂය වෙලා ගිය කෙනෙක්. පේ‍්‍රත ලෝකය ක්ෂය වෙලා ගිය කෙනෙක්. අපාය නම් වූ දුගතියට වැටෙන ස්වභාවය ක්ෂය වෙලා ගිය කෙනෙක්. මම සෝතාපන්න කෙනෙක්. අපායට නොයන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. නියත වශයෙන්ම ආර්ය සත්‍යාවබෝධය කරගන්නා කෙනෙක්’ය කියලා.