පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2018-04-21 වන දින කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේ ත්‍රිපිටක සජ්ඣායනාව ආරම්භ වූ දින රාත්‍රියේ සිදුකරන ලද විශේෂ ධර්ම දේශනය

ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි හරියට කතා කරනවනේ ඉවසීම ගැන. අන්න ඒ ඉවසීම ඕනේ අපි අහන දේ තේරුම් ගන්නත්. ඒ කියන්නේ අපි අහන දේ හරි දෙයක්ද, වැරදි දෙයක්ද කියලා තේරුම් ගන්න නම්, අහපු ගමන් ගිලින්න එපා. අහපු ගමන් ගිලිනවා කියන්නේ ඉවසීම නෑ කියන එක. මම උදාහරණයක් කියන්නම්. මම සිහියෙන්ද අහන්නේ කියලා බලන්න, මම අපේම ස්ථානයක ‘මහ රැජිණ උපන්නේ ලංකාවේ කියලා කිව්වා අනේ සාදු කියලා කිව්වනේ’. එහෙනම් එතන සිහි බුද්ධියෙන් ඇහුවේ නෑ. මහ රැජිණ ලංකාවේද උපන්නේ? ඒක බොරුවක්ද? ඇත්තක්ද? ඒක කියපු ගමන් සාදු කිව්වනේ. එහෙනම් ඒකේ තේරුම මොකක්ද? අහන දේ කල්පනාවෙන් ඇසුවේ නෑ. මට දුක මේ පුංචි දරුවෝ පේන කොට අනාගතේ ධර්මයේ නාමයෙන් එක එක ඒවා අහන්න ලැබෙනවා. එතකොට බලන්න දැන් වාඩිවෙලා ඉන්නවා, අහගෙන ඉන්නවා අහන ඕනෑම එකක් අනුමෝදන් වෙන්න ලෑස්ති නේ. හරිද ඒ ක්‍රමය? වැරදියි. අන්න ඒ වැරදි රටාවට අහුවෙච්ච නිසා තමයි මේ රටේ දේශපාලකයෝ ඡන්ද දායකයන්ට නාස් ලණුව දැම්මේ. ඔබට නාස් ලණුව දැම්මද නැද්ද? අපිට ලැජ්ජාවෙන් යුක්තව කියන්න වෙලා තියෙනවා නාස් ලණුව දැම්මා කියලා. දේශපාලකයෝ විතරක් නෙමෙයි දැන් සිවුරු දාපු උන්නාන්සෙලත් නාස් ලණුව දානවා.

ලංකාවේ බුදුන් පහළ වුනා කියනවා. එතකොට තේරුණේ නැද්ද? හප්පේ මේ අහස පොළොව නුහුලන බොරුවක් නොවැ කියන එකද හිතුනේ, හැබෑවක්ද කියලද? අන්න ඒකයි අනාගතේ කිව්වොත් කිරිබත්ගොඩ කියන්නේ සුජාතා කිරිපිඩු දීපු ගම කියලා. ඇයි කියන කියන එක පිළිගන්නවානේ. කුණ්ඩසාලේ ලු මහමායා දේවින් වහන්සේගේ ගම. මම මේ ධර්මය අහන්න ඉස්සෙල්ලා සිහියෙන් සිටීම ගැන මේ කියන්නේ. එතකොට එයා මුලාවෙන් මුලාවට පත්වෙන්නේ නැද්ද?. දැන් මම කිව්වොත් මම රහත් කියලා, එතකොට පිරිස අනේ සාදු ! කියයි. ඔක්කොටම නාස් ලණුව ගියා. ඇයි එහෙනම් මම ඒ කළේ මොකක්ද? නාස් ලණුව දැමීම. තමන් ගාව මොනවහරි ගුණයක් තියෙනවා නම්, එක පුද්ගලික එකක්. දැන් ඔබ ගාව මොනවහරි ගුණයක් තියෙනවා කියලා හිතමු. දැන් ඔබ පුරුදු වුනා කියලා හිතමු, ජීවිත කාළෙම ඉවසන්න. ඕක දැන් අනුන්නට කිය කිය යන එකක්ද, තමන්ගාව පුරුදු කළ යුතු එකක්ද? තමන්ගාව පුරුදු කළ යුතු දෙයක්. අනුන්ගෙන් ලාභ සත්කාර අපේක්ෂාවෙන් ඔබ කිව්වොත් දරුවනේ අම්මා ඉවසනවා සලකපන් කියලා එතකොට එහෙනම් ඉවසීමෙන්, එතකොට එයාගේ බලාපොරොත්තුව මොකක්ද? ලාභ ප්‍රයෝජනේ ගන්න. ඒක පිරිහීම…….