පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-12-31 වන දින ශ්‍රද්ධා රූපවාහිනිය සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඥාන භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය

ශ්‍රද්ධාවන්ත පින්වත්නි, වාර්ෂිකව සිදු කරන පුණ්‍යානුමෝදනාව තමයි දැන් අපි පවත්වන්නේ. මෙතන ඉන්නවා බොහෝ වයසක අය. ඒ වයසක අයට සමහරවිට අපි කියන එක පැහැදිලි වෙනවා. තරුණ අයට නම් තේරේවී කියලා හිතන්න බෑ. ඒකට හේතුව තමයි මේ වයසක අය දන්නවා මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කරන්ට ඉස්සලේලා තිබිච්ච ධර්මප්‍රචාරයේ හැටි. පොඩි එවුන්ට තේරෙන්නෙ නෑ. එතකොට ඒ කාළේ ධර්මප්‍රචාරයක් කියලා වැඩ පිළිවෙලක් නැති ගානයි. මම මේ කියන්නේ මීට අවුරුදු විසි පහකට විතර කලින්. ඒ කාළේ ධර්මප්‍රචාරක කටයුතු අපි පටන්ගත්තේ මිනිස්සු වද්දගන්න අදහසින් නොවේ. අනුකම්පාවෙන්. මොකක්ද අනුකම්පාව? අනේ මේ මිනිස්සුන්ටත් මනා කොට තිසරණය පිහිට ලැබුනොත්, මම මුලාවට පත් වුනා වගේ මුලා නොවී තිසරණයේ රැදේවී කියලා හිතලයි. එහෙනම් එකේ රහස මොකක්ද? මමත් මුලාවට පත්වෙවී උන්න කෙනෙක්. නොයෙක් මගඵල දෙන තැන්වල ගිහින් ගිහින් මේ ලබනවා මේ අතහරිනවා. එහෙම හිටපු කෙනෙක් මම. හැබැයි මට තිසරණය අතහැරෙන්න යනකොට මගේ වාසනාවට ලැබෙනවා. කිහිප වතාවක් මට තිසරණය අහිමි වෙන්න ගියා. අපේ මනසේ ස්වභාවය තමයි කව්රු හරි කියන එකක් අහගෙන කරන එක. කොච්චර අපි මෝඩද කියන්නේ, මං උදාහරණයක් ඔබට කියන්නම්…….