පූජ්‍ය තිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016 උඳුවප් පුන් පොහෝ දින (2016 දෙසැම්බර් මස 13) පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී අංගුත්තර නිකායේ සංසප්පනීය පරියාය සූත්‍රය ඇසුරින් පවත්වන්නට යෙදුණු සුමධුර ධර්ම දේශනය

මහණෙනි, කැරකී සැඟවී යන ඉරණම පිළිබඳ වූ ඒ ධර්ම ක‍්‍රමය කිමෙක් ද?

මහණෙනි, සත්වයෝ තමා කරන ලද දෙයින් ඇතිවන විපාකය තමා සතු ව සිටින්නෝ ය. තමා කරන ක‍්‍රියාව ම දායාදය කොට සිටින්නෝ ය. තමාගේ ක‍්‍රියාව තමා උපදින තැන තීරණය කරන ස්වභාවයෙන් යුත්තෝ ය. තමාගේ ක‍්‍රියාව ම ඥාතියා කොට වසන්නෝ ය. කර්මය පිළිසරණ කොට වසන්නෝ ය. කල්‍යාණ වූ හෝ පාපී වූ හෝ යම් ක‍්‍රියාවක් කරන්නෝ ද, එහි ඵලය දායාදය කරගන්නෝ ය.

මහණෙනි, මෙහිලා ඇතැමෙක් සතුන් මරන්නේ වෙයි. හේ රෞද්‍ර ය. ලේ වැකුණු අත් ඇත්තේ ය. වැනසීම්, පැහැර ගැනීම් වලින් යුක්ත වූයේ ය. සියළු ප‍්‍රාණභූතයන් කෙරෙහි දයා නැත්තේ ය. ඔහු කයින් කැරකී යන කර්මයක් කරන්නේ ය. වචනයෙන් කැරකී යන කර්මයක් කරන්නේ ය. මනසින් කැරකී යන කර්මයක් කරන්නේ ය. ඔහුගේ කාය කර්මය වක‍්‍ර වූයේ වෙයි. වචී කර්මය වක‍්‍ර වූයේ වෙයි. මනෝ කර්මය වක‍්‍ර වූයේ වෙයි. ඔහුගේ ගිය ගමන වක‍්‍ර වූයේ වෙයි. ඔහුගේ උපත වක‍්‍ර වූයේ වෙයි. මහණෙනි, මම මෙසේ වක‍්‍ර ගමනක යෙදුණු, වක‍්‍ර උපතක් ඇති කෙනෙකුට යම්බඳු ඒකාන්තයෙන් දුක්ඛිත වූ නිරයෝ ඇද්ද, එහි හෝ යම්බඳු කැරකී සැඟවී යන ස්වභාව ඇති තිරිසන් යෝනි ඇද්ද මේ දෙගතියෙන් එක්තරා උපතක් උරුම කරගන්නේ යැයි කියමි.

මහණෙනි, කැරකී සැඟවී යන ස්වභාව ඇති ඒ තිරිසන් යෝනි මොනවාද? සර්පයෝ ය. ගෝනුස්සෝ ය. පත්තෑයෝ ය. මුගටියෝ ය. බළල්ලූ ය. මීයෝ ය. බකමූණෝ ය. මෙබඳු වූ අන්‍ය තිරිසන් යෝනිවල උපන් සතුන් ඇද්ද, ඔවුහු මිනිසුන් දැක කැරකී සැඟවී යති. මහණෙනි, මෙසේ සත්වයාගේ කර්මය සත්වයාගේ උපත වෙයි. යමක් කරයි නම්, ඒ හේතුවෙන් උපදියි. උපන්නහු ඒ කර්ම විපාක ස්පර්ශයෝ ස්පර්ශ කරති. මහණෙනි, මේ අයුරින් ද මම සත්වයෝ කර්මය දායාද කරගත්තෝ යැයි කියමි.

(සප්පනීය පරියාය සූත්‍රය ‍/ අ.නි. – දසක නිපාතය)