පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017 සැප්තැම්බර් මස 05 වන බිනර පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනයකි.

සැදැහැවත් පින්වත්නි,
අද බිනර පොහෝ දවසේ මේ පින්වතුන් අට්ඨාංග උපෝසථ සීලයේ පිහිටලා අපගේ ශාස්තෘන් වහන්සේ ගැන, උන්වහන්සේ වදාළ ධර්මය ගැන, උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන තවදුරටත් සිත පහදවා ගන්ටයි කැමැත්ත. අපි සියලු දෙනා කුඩා අවදියේ ඉඳලා බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියාපු අය. නමුත් අපට තේරිලා නැත්තෙත් ඒකමයි. ඒ නිසා ගොඩාක් දෙනෙකුට බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වට ඒක කියන්නම් වාලේ කියාපු එකක්. ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නං වාලේ කියපු එකක්. සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්නං වාලේ කියාපු එකක්. ඒ නිසා අපට කරදරයක් වුන වෙලාවට බුදුරජාණන් වහන්සේව මතක් වෙන්නේ නෑ. සරණ ගිහිල්ලා නම් කරදරයක් කණගාටුවක් වෙච්ච වෙලාවට බුදුරජාණන් වහන්සේව මතක් වෙනවා. ඒ සරණේ පිහිටා නැත්නම් මතක් වෙන්නේ තමන්ගේ පිහිටට තියෙන්නේ කියලා එක්කෝ කේන්දරේ. ඊට පස්සේ දුවගෙන ගිහින් කේන්දරේ බලවනවා. “අපට මක් වෙලාද දන්නෙ නෑ… අපට අපල උපද්‍රව ද දන්නෙ නෑ… මොකදෑ මේ වුනේ…” කියලා. ඇයි හේතුව, තමන්ට සරණ ගැන කිසී දෙයක් නොවැටහී තිබීම. සරණ මනාකොට පිහිටන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැනගන්ට ඕනෑ. ඒ සරණ හරියට පිහිටගන්නට බැරිවුනාම නොයේක් මිසදිටුවලට හසුවෙනවා. ඒ විදිටහ මිසදිටුවලට පැටලිලා අහිමි කරගෙන තියෙන්නේ අන්තිමට තමන් පුංචි කාලේ ඉඳලා කියාපු දේ. මොකක්ද ඒ, බුද්ධං සරණං ගච්ඡාමි කියන එක අහිමි වෙලා. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනාට ඒ සරණත් එක්ක ඇතිවෙන්ට ඕනෙ සිතේ පැහැදීමක්….